අජිත් තිලකසේන හා ධර්මසේන පතිරාජ මුනගැසීම.

ධර්මසේන පතිරාජ මා මුලින් හඳුනාගන්නේ 7 හෝ 8 වසරේදී කියවන්නට ලැබුනු මගේ මාමාගේ පොතක් හරහා ය. පතිරාජ සමගම හඳුනගන්නට ලැබෙන තවත් නමක් වන්නේ අජිත් තිලකසේනගේ නම වන අතර තිලකසේනත්, එතුමා ප්‍රගුණ කල සමරූපී අක්ෂර කලාවත් ගැන 8 වසරේ සිංහල සමිතියේ කතා කලා අද මෙන් මතකය. සිංහල සමිතියේ අනුශාසක වූ සීලවතී කුමාරිහාමි මැඩම් වචනයේ ඉහලම අර්ථයෙන් මවු ගුණයන් පිහිටි කෙනෙක් වූ නිසාම, තිලකසේන ගැන කතාව නිමවා පන්තියේ අසුන් ගන්නටත්, තවදුරටත් පන්තියේ රැඳී සිටීමටත් අවස්ථාව ලදිමි.

පතිරාජ මිය ගිය පුවත මම දැනගත්තේ මිතුරන් කණ්ඩායමක් සමග ගාල්ලේ සිට නුවර බලා පැමිණෙමින් සිටි අතරතුර ය. අඹේපුස්සේ දී තේ බොන්න කියා අප පැමිණිමෙන් සිටි වාහනය නැවැත්වූ අතර ඒ තේ බිවු කඩයේ සන්නස්ගල මෙන්ම නිර්මාල් රංජිත් දේවසිරි ද සිටියේ, අවමගුල් කටයුතු සඳහා යමින් හෝ එසේ ගොස් එමින් සිටි අතරවාරයේ විය යුතුය. නිතරම ෆේස්බුක් හි තම අත්දැකීම් බෙදාගන්නා මගේ පාසල් සගයෙකු වූ චමින්ද මුරමුදලි පතිරාජගේ අවසන් කටයුතු සිදුවන මල් ශාලාව වෙත ගොස් තිබූ අතර ඡායාරූප කීපයක් ද බෙදා ගෙන තිබුණි. මා ඇත්තටම පතිරාජ අවසන් කටයුතු ගැන යම් දෘෂ්‍ය සටහනක් ලෙස නැරඹුවේ මුරමුදලිගේ ඡායාරූප හා වීඩියෝ ක්ලිප් එකකි (මට මතක හැටියට වීඩියෝ ක්ලිප් එකත් ඔහුගේ එකතුවකි). මම තිලකසේන ගැන කතා කල සමිතිය දවසේ මුරමුදලි සිටියේ අපට යාබද අල්ලපු පන්තියේ ය.

2071 Ajith Thilakasena
තිලකසේන

පතිරාජගේ සිනමාව ගැන මා මුලින්ම සමීප වන්නේ තිර පිටපත් හරහා ය. අන්තර්ජාලය නොතිබූ යුගයක උස් මහත් වූවන් ලෙස මහජන පුස්තකාලය හරහා පතිරාජගේ තිරපිටපත් හා ඒවා ගැන විචාර අඩංගු කුඩා පොත් බැහැර ගෙන ගොස් කියවනවා මතක ය. සාමාන්‍ය පෙල කර උසස් පෙල ට සමත් වූ කාලයේත්, ඒ අතරතුර කාලයේත් ඇමරිකානු නාට්‍ය දෙසට දැඩි නැඹුරුවක් තිබුණි. මහනුවර මහජන පුස්තකාලයේ බැහැර දෙන අංශයේ වෙළුම්ගත කල ඇමරිකානු නාට්‍ය හා සම්බන්ධ පන්සිය පනස් ජාතකය තරම් වන පොත් රාශියක් විය. මේවා බැහැරට ගෙන යනු දුටු පාඨකයින් වැඩිදෙනෙක් නොසිටි බැවින් මට රිසිසේ පොත් පරිශීලනය කිරීමේ අවස්ථාව උදා වී තිබුණි. නීල් සයිමන්, ටෙනසි විලියම්ස්, වුඩී ඇලන් ආදී රචකයන් මුල්වරට හමුවූයේ මේ යුගයේදීයි.

පතිරාජගේ ‘පාර දිගේ’ මා කියවූ මුල්ම පතිරාජ තිර පිටපත විය යුතුය. මෙම පිටපත අජිත් තිලකසේන ලියුවක් ලෙස මතකයේ තිබේ. පසු කාලයක යූ-ටියුබ් එකට ඇබ්බැහි වූවෙක් ලෙසත්, ඩීවීඩී-ගත කල චිත්‍රපට බහුල වූ නිසාත්, අතරින් පතර රූපවාහිනියේ විකාශය වූ නිසාත් ‘අහස් ගව්ව’ (මා නැරඹූ මුල්ම පතිරාජ චිත්‍රපටය), ‘බඹරු ඇවිත්’, ‘සොල්දාදු උන්නැහේ’ මෙන්ම කලින් කී ‘පාර දිගේ’ ද නැරඹීමට හැකි විය. එදා මෙදා තුර අතහැරුනු චිත්‍රපටය වූයේ ‘එයා දැන් ලොකු ලමයෙක්’ ය.

තිලකසේන මෙන්ම පතිරාජ ද මෙසේ අපගේ ජීවිතවලට අඩු වයසකදීම යම් බලපෑමක් එල්ල කල අපටත් කලාවේ දිශාව තීරණය වීමට ඉදිරිගාමී තල්ලුවක් දුන් මහා චරිත වේ. මොවුන්ගෙන් ඒ නොදන්න කාලයේ අප මහා බලපෑම් නොලැබුවත්, යනින් එන ගමන් අප හා වුනු හමුවීම් හරහා දැනෙන ආකාරයේ කම්පනයක් අපගේ අභ්‍යන්තරයේ වන්නට ඇතැයි මට සිතේ. සභ්‍ය සිංහලයෙන් කතා පවත්වන්නට ඉඳුරාම අසමත් මා පන්තියක් ඉදිරියේ තිලකසේන ගැන කතා කිරීමට පෙලඹීමම මීට සාක්ෂියකි.

Dharmasena-Pathiraja-768x447
පතිරාජ

තිලකසේන ගේ නිර්මාණ ආඛ්‍යානය සරල රේඛීය විකාශයක් හරහා හසුකර ගැනීමට නොහැකි ය. රේඛීය ව සිතන්නට පුරුදු වූ ලෝකයට කරන සවිඥානික ඇද කිරීමක් වැනි ඔහුගේ සාහිත්‍යකරණය ඒ ආඛ්‍යානයේ ම වන නීති රීති වලින් හඳුනාගෙන ආශ්‍රය කල යුත්තකි. මම තිලකසේනගේ පොත් කියවා තේරුම් ගෙන ඇත්තෙමි යැයි කියන්නා පවසන්නේ බොරුවකි. තිලකසේන කියවීමට උත්සාහ දරා යා හැකි දුරෙන් ඔබ්බට යන්නට බැරිවී, කෙටි කතා පසෙක ලා ඔහුගේ කවි පොතක් අතට ගත්ත ද ප්‍රශ්ණය නිමවන්නේ නැත, එය වෙනත් මානයකට යැවෙනවා පමණි. මෙම තිලකසේන ම 2010 දී පමණ ‘පස් වසරක්’ නැමැති පොතක් ප්‍රකාශය කල අවස්ථාවේ රේඛීය රාමුවකට නිරායාසයෙන් හසුවන්නට මෙන් ලියවී තිබුණු එම නර්-තිලකසේනමය කෙටි කතා කියවා යම් තෘප්තියක් ලද හැකි වුවත් ඔහුගේ පනස් වසරක නිර්මාණ දිවියේ ලියවුනු සමස්තයම කියවා අවසන් වන විට ඇති වන අසම්පූර්ණබවේ භාවය නැතිවීමේ මහා දෙගිඩියාවක් ද, වසර පනහක කතිකාවකින් පසුව තිලකසේන මා පාවාදුන්නා වැනි හැඟීමක් ද ඇති විය.

පතිරාජ මෙන් අපගේ නව යොවුන් වියේදී කලාව ගැන හැඟීම් පිබිදි එන යුගයේදී අප ඇසුරු කල හා එසේ කරන්නට ලැබූවන් බොහෝ දෙනා ඉදිරියේදී අපෙන් සමුගනු ඇත. මගේ පරිකල්පනයට එකල ආමන්ත්‍රණය කල එච්. ඒ පෙරේරා, දයා අල්විස් වැන්නන් මේ වන විටත් මියගොස් ය. ඒ ඇතැම් අය මිය ගියේ තම නිර්මාණ ප්‍රතිභාව ගැන සමාජයක් හෝ රාජ්‍යයක් ලෙස අපත් අප මෙහෙයවන සංස්ථාවෙනුත් ලැබිය යුතු කලගුණ සැලකීමක් වත් නොමැතිව ය. පතිරාජ නම් තමාගේ අවසන් කටයුතු තමා ම අධ්‍යක්ෂණය කරගෙන තිබිණි. ඒ ද අප සැමට අවසන් වරටත් ඉතාම නිරවුල් හා වැදගත් පාඩමක් ශේෂ කරමිනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s