ලියනගේ අමරකීර්තිගේ “රතු ඉරි අඳින අත”: ඉරෙහි නැමියාව ගැන.

5e047b59aa0dc_Untitled-1-Recovered-Recovered-Recovered-Recoveredඅටවක පුත්තු, කුරුලු හදවත හා අහම්බකාරක හරහා ලියනගේ අමරකීර්තිගේ නවකතාකරු දිවිය හදුනාගෙන සිටි මම ඔහුගේ නවකතා ශ්‍රෙඪියේ පස්වැන්න වන රතු ඉරි අඳින අත (2019) ද ඉකුත් දා කියවීමි. වේගයෙන් කියවාගෙන යා හැකි, පේජ්-ටර්නර් පන්නයේ හුරුවක් ඇති, පාඨක උනන්දුව ඉතා පහසුවෙන් කතාව තුල රඳවාගන්නට සමත් මෙම කෘතිය කුතුහලය, ත්‍රාසය, භීතිය, මානව දයාව, අනුකම්පාව ආදි භාවයන් රැසක් කැටිකොට සංස්ලේෂණය කරන්නකි. ඒ අතරම තත්කාලීන සමාජය ඉතා තියුණු ලෙස විනිවිදින සමාජ කියවීමක්ද අප ඉදිරියෙහි දිගහරින්නකි. නූතන ශ්‍රී ලාංකික සමාජ-දේශපාලන-සංස්කෘතික-මාධ්‍ය හා ඇකඩමික හැඩතල එකිනෙක හා සමපාත කරමින්, ඒවා අතර ඇති නොදුර බවත්, ඒවා එකිනෙක හා ගැටගැසෙමින්, එකිනෙක පෝෂණය කරමින්, සමාජ සාරය උරාගනිමින් පවත්වාගෙන නඩත්තුකරගෙන යන මාෆියා පන්නයේ අවකාශ සමූහයත් අමරකීර්ති තම කෘතිය හරහා මතුකර පෙන්වයි. අනෙක් කාරකයින්ගෙන් විතැන් කර එය ලඝු කර දක්වනවා නම්, රතු ඉරි අඳින අත වඩාත් ප්‍රබලව තම කාචයට හසුකරගන්නේ මේ අවසානයට කී කාරණය නොහොත් උඩුකුරු තෙරපුමකින් හැසිරෙන, විශ්වය තම අණසක යටතට බැඳ හසුරුවන දේශපාලන ව්‍යාපෘතියක පෝෂක අවයවයන් ලෙස එම ව්‍යාපෘතියට රැකවරනය සපයමින් සහ එයින් ප්‍රතිපෝෂණය ලබමින් පරිවාරයේ හැසිරෙන මාධ්‍ය පතාකයින්, ව්‍යාපාරික ප්‍රජාව, ඊනියා බුද්ධිමතුන්, සංස්කෘතිය හා අධ්‍යාපනය මෙහෙයවන්නන් ආදී අක්ෂයන්ය.

ඇකඩමිය සම්බන්ධ අමරකීර්තිගේ විවේචනය ඔහුගේ එදා-මෙදාතුර නිර්මාණ මඩුල්ල විනිවිද යන්නකි. රතු ඉරි අඳින අත තුලින් එක්තරා කූඨාප්‍රාප්තියකට ගෙන එනු ලබන මෙම විවේචනය එක අතකින් අටවක පුත්තු හරහා පන්නරය ලැබූ, කුරුලු හදවත හා අහම්බකාරක හරහා වඩා අඩු ජවයකින් පවත්වාගෙන ආ පහරදීමක තාර්කික මීලඟ අවස්ථාව යැයි හදුන්වාදිය හැක. මුළු රටකම ජීවන රිද්මය තම වචන වලින් හසුරුවන, තම සමස්ත පැවැත්මම ප්‍රවාදයක් හෙවත් “ඇන්ඳීමක්” වන, හා ඒ ප්‍රවාදය මත පිහිටා සමාජයක්ම “අන්දන” මහාචාර්ය මිහිඳුකුලසූරියත් ඔහුව වඩාත් විශාල සමාජ-හැසිරවීම් ක්‍රියාදාමයක සවිඥානිකව නමුත් සියුම් ලෙස යොදවා ඇති ඉත්තෙකු ලෙස භාවිත කරන දේශපාලන හා ආර්ථික “මහත්වරුනුත්”, පොදුවේ ඇකඩමියත්, ඊනියා විදග්ධභාවයත්, දැනුම නැමැති ආයතනික සංස්ථාවත් අමරකීර්ති තම කෘතිය හරහා කම්පනයකට ලක් කරයි. රතු ඉරි අඳින අත හරහා මිනීමරු දේශපාලඥයා, පාතාලයා, කුප්‍රකට ව්‍යාපාරිකයා හා සරසවි ඇඳුරා අතර පරතරය ඉතා බිහිසුනු ලෙස හකුලුවාලීමට කටයුතු කෙරෙන අතර එය හිත හිරිවට්ටන ආකාරයේ සංකෝචනය කිරීමකි. තත්කාලීන සමාජ හා දේශපාලන ප්‍රභූ සමාජය ලෙස අප සාමාන්‍යයෙන් දකින සංඥාව ප්‍රතිවර්තනය කරමින් එම දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ අතීත නිකම්භාවය, පාන්තික හා සමාජ පරිධිය මෙන්ම දේශපාලන බලය ස්ථාපනය කරගත් ගමනේ සැහැසි, රුදුරු, හා දැඩි බව අමරකීර්තිගෙ අවධානයට කේන්ද්‍රීයව හසුවේ.

unnamed (1)
අමරකීර්ති

රතු ඉරි අඳින අත පොදුවේ ජනප්‍රිය ධාරාවේ කෘතියක් ලෙස ඉතා උනන්දුවෙන් හා ආයාසයකින් තොරව කියවිය හැකි වුවත් අමරකීර්ති විෂය සම්බන්ධයෙන් පැවසිය යුතු වැදගත් වෙනත් යමක් ඇත. එනම්, අටවක පුත්තු තුලින් මතුවී කලින්ද සඳහන් කල කුරුලු හදවත, අහම්බකාරක හා රතු ඉරි අඳින අත හරහා එන නිර්මාණ ගමනේදී යම් හේතුවක් නිසා ලියනගේ අමරකීර්ති (එක්තරා ආකාරයකට) තල දෙකක් අතර අතරමං වී සිටින බවයි. ඔහුගේ නිර්මාණකරුවෙකු ලෙස ඇති ප්‍රභවයට හා ශක්‍යතාවයට – මෙම ප්‍රභාවත්බව කෙටිකතාකරුවෙකු ලෙස වඩා සාධනීය තැනක පවත්වා ගැනීමට අමරකීර්ති සමත් බව සිතේ – සාධාරණයක් ඉටුනොවන බවට යෝජනා කල හැකි මෙම සිරවීම විශේෂයෙන්ම දැකිය හැක්කේ ඔහු තම නවකතා වෙනුවෙන් යොදාගන්නා ආකෘතිය තුලයි. අටවක පුත්තු නොසලකා හරින්නේ නම් ඔහුගේ දෙවන හා තුන්වන කෘතිවල ඇත්තේ ජනප්‍රිය ආරට බර තැබුනු, ජනප්‍රිය පාඨකයා මූලිකවම ඉලක්ක කරගන්නවා යැයි සිතෙන, සරල හා රේඛීය ආඛ්‍යානයකින් පන්නරය ලබන නිමැවුමකි. අටවක පුත්තු හි ඇතැම් පර්යේෂණාත්මක ලක්ෂණ බැහැර කරමින් නිර්මාණය වුනු – ඔහුගේ දුර්වලතම කෘතිය ලෙස මම අදටත් දකින – කුරුලු හදවත හරහා පිවිසි කතා කීමේ ශෛලිය හරහා අමරකීර්ත් අදටත් වැඩි අවධානයක් යොදන්නේ තම කතාවට අවශ්‍ය “අවස්ථාවන් සම්පාදනය” කරගැනීමට බව නිතරම හැඟේ. සාහිත්‍යය ඉතා ගැඹුරින් ශාස්ත්‍රීයව අධ්‍යයනය කර ඇත්තෙකු නිසාත්, නිර්මාණකරුවෙකු ලෙස ඔහුගේ ඇති දක්ෂතාවය නිසාත් මෙවැනි ඇතැම් “රසබර අවස්ථා” නිර්මාණකරුවා යොදාගන්නා විවිධ මෙවලම් හා ආකෘතික ආයිත්තම් සමඟ සංස්ලේෂණය කරමින් තම කතාව ඉදිරිපත් කරන්නට ඔහු උත්සාහ දරනු පෙනේ. අහම්බකාරක තුලත් රතු ඉරි අඳින අත තුලත් මෙම සංකලනය දැකිය හැකි අතර කුරුලු හදවත හරහා ලත් බැස්ම තුලනය කරගන්නා ප්‍රවේශයක් මේ හරහා අභිමුඛ වේ.

unnamed
වෙඩිවර්ධන

නමුත් කලින් අවධාරණය කල ශාස්ත්‍රීය ශික්ෂණයත්, සාහිත්‍යය පිලිබඳ දශක ගණනාවක ඔහු කරන විමර්ෂණයත්, ලබා ඇති නිපුණතාවයත්, ඔහුගේ ඇති ප්‍රශස්ත නිර්මාණශීලීබවත් නිසාම මෙයින් ඔබ්බට යන පර්යේෂණාත්මක “යමක්” අප අමරකීර්තිගෙන් බලාපොරොත්තුද වන්නෙමු. වෙනත් ආකාරයකට පවසන්නේ නම් අමරකීර්ති තුල මා දකින්නේ පර්යේෂණාතමක බවින් යම් සාධනීය අදහසක් ඇති කරන අටවක පුත්තු හරහා යොමුව තිබුනු ගමනක් ජනප්‍රිය ධාරාවේ ආකෘතියක අවශ්‍යතා තුල සිරවුනු අවස්ථාවකි. සමකාලීන කෘති දෙකක් ලෙස 2007 දී දොරට වැඩි අටවක පුත්තු හා මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව සලකන්නේ නම්, එදා-මෙදා තුර ගෙවුනු අවුරුදු 13ක පමණ කාලයේදී පර්යේෂණාත්මක ලෙසත්, තම ප්‍රවේශය හා ආකෘතිය සම්බන්ධයෙන් තමාටම හා තම පාඨකයාටද අභියෝග කර සිටින නිර්මාණ ශිල්පියෙකු ලෙසත් වෙඩිවර්ධන ලබා ඇති දියුණුව මගින් අමරකීර්තිව පසෙකට තල්ලු කර හරියි.

රතු ඉරි අඳින අත කියවන අවස්ථාවේදී ඊට සමාන්තරව මා කියවූ අනෙක් එක් කෘතියක් වූයේ වෙඩිවර්ධනගේ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා කෘතියයි. ආකෘතිය, වස්තු විෂය අරභයා දක්වන ප්‍රවේශය, ආඛ්‍යාණය හැසිරවීම වැනි කරුනු සැලකීමේදී බත්තලංගුණ්ඩුව, මගේ ආදරණීය යක්ෂණි වැනි කෘතින්ද, වඩාත් මෑත කාලයේදී වෙඩිවර්ධන පලකල පැරිස් වලාකුළු හා ඒ අහඹු අතීත හැන්දෑව වැනි නිර්මාණද හරහා ඉතා පුළුල්, බහුවිධ, විෂමජාතී තලයන් ගොන්නක් අතරෙන් තම නිර්මාණයන් මුවහත්කරගැනීමට වෙඩිවර්ධන සාර්ථකව සමත්වී ඇත්තා සේය. ඒ අර්ථයෙන් අමරකීර්ති යෙදෙන්නේ ඇතුලට ඈරුනු, ඇල්මාරුනු ගමනකය.

0_8i8p4eqx763Wokrsකුටීරයක් තුල, නිද්‍රාශීලී තැනක නිර්මාණ ජවය බිහිවන්නේ අඩුවෙනි. අප නිර්මාණ ලෙස සලකන කාර්යයට අවශ්‍ය ජවය කොස්මොපොලිටයානු ඝර්ෂණයකින් ලැබෙන්නකි. ක්ෂේම භූමියක් තුල යම් ආකාරයක සිරවීමකට ලක්වී සිටින, වෙනත් සියයකුත් එකක් ලේඛන කාර්යයන්ගේද නියලෙන අමරකිර්ති “නිර්මාණකරුවකු” ලෙස මද කලකට හෝ පේරාදෙණියෙන් නික්ම, මග සරමින් සිටිය යුත්තේද යන අදහසත් ඇතැම් විට නැගේ. නව්‍යවාදී සාහිත්‍යයේ අග්‍රඵලයෝ, දොස් නගමින් වුවත්, තම නිර්මාණ කරමින් රැඳී සිටියේ පැරිසියේය. ඔහුට පහරදෙන පිරිස බොහෝ අවස්ථාවන්හිදි තම ඉලක්කය කරගන්නේ අමරකීර්තිගේ සාහිත්‍යය නොවන නිසාත්, ඔහුව අගයන්නෝ නිර්ධය ලෙස එම සාහිත්‍යයම කසී සළුවෙන් දවටන නිසාත් අමරකීර්ති සාධාරණ විචාරයකට ලක්නොවීමේ හා විවේචනශීලී පහරකෑමකට නිරාවරණය නොවීමේ ඌනතාවයෙන්ද පෙලෙන්නෙකි. මේ දෙපාර්ශවයෙන්ම තරමක් ඈත්ව, නිරන්තර පහරකෑම් හමුවේ රතු ඉරි අඳිමින්, තම අත මෙහෙයවමින්, පාඨකයා සුරාතාන්තයට ගෙන යන ජනප්‍රිය ආකෘතියෙන් බැහැරව යන දිනක පර්යේෂණාත්මකව සිදුකරන ලේඛනය අමරකීර්ති නිර්මාණකරුවාට වඩාත් දියුණු තලයේදී ප්‍රතිසම්මුඛ වීමට ඉඩ ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s