නිදහස් වූවන් සහ ඒ ගැන ලියූ උන්: දෙවන කැරැල්ලේ විත්තිකරුවන් එයින් වසර තිහකට පසුව.

88-90 භීෂණ සමය විමර්ශණය කිරීමේදී අපට හමුවන මුඛ්‍ය කෘතීන් කිහිපයක්ම ඇත. මේ ඇතැම් ඒවා ජනප්‍රිය ධාරාවේ පරිශීලනය වන අතර ඇතැම් අනෙක් කෘතීන් පර්යේෂණ හා ශාස්ත්‍රීය අංශවල වැඩියෙන් භාවිතයට ගැනෙන, පුස්තකාල හා ක්ෂේත්‍රය පිලිබඳ විශේෂ අවධානයක් ඇති අය අතර වැඩියෙන් ගැවසෙන පොතපත වේ.  ඒ.සී අලස්, සී. ඒ චන්ද්‍රප්‍රේම සහ රොහාන් ගුණරත්න තිදෙනා විසින් 1990-1991 අතර දී ලියා පලකල “කැරැල්ලේ අභ්‍යන්තර කතාව” කියවෙන බවට ඔවුන් විසින්ම සඳහන් කරන කෘති තුන මෙයින් මූලික වන අතර 1987-90 සන්නද්ධ අරගලය පිලිබඳ ඕනෑම පර්යේෂණයක ග්‍රන්ථාවලියේ නිරතුරුව සඳහන් වන්නේය. ඒ අනුපිලිවෙලින් The JVP 1969-1989 (ජවිපෙ 1969-1989), Sri Lanka: The Years of Terror. The JVP Insurrection 1987-1989 (ශ්‍රී ලංකාව: භීෂණයේ වර්ෂයන්. 1987-1987 ජවිපෙ කැරැල්ල) සහ Sri Lanka. A Lost Revolution? The Inside Story of the JVP (ශ්‍රී ලංකාව. පරාජිත කැරැල්ලක්? ජවිපෙහි අභ්‍යන්තරික කතා පුවත) නම්වන මෙම කෘතීන් දැඩි රාජ්‍ය-හිතෛෂීබවකින් ලියවී ඇති අතර, රාජ්‍යය සාධාරණීකරණය කරන, වින්දිත හා අගතියට පත් පාර්ශවය නියෝජනය කිරීමට අපොහොසත්වන, සහ එවැනි නියෝජනයක් ගැන නොසිතන පඨිතයක් නිර්මාණය කරන ලෙස අප විසින් හඳුනාගනු ලබයි. ඒවා විසින් එකිනෙකා උද්දීපනය කරනු ලැබීමත්, අන්‍යෝන්‍ය රැඳියාවක් දැක්වීමත් විශේෂයෙන් පෙනී යයි.

අලස් නොසලකා හරින්නේ නම්, අවම වශයෙන් චන්ද්‍රප්‍රේම හා ගුණරත්න යන දෙදෙනාටම වධකාගාර, රාජ්‍ය මර්ධනය හා රාජ්‍යය විසින් සපයා ගන්නා “අභ්‍යන්තර විස්තර” දැනගැනීමේ මාර්ග හා කවුළු තිබුනු බව ඔවුන් තම ලේඛනයන් ඉදිරිපත් කරන ආකාරයෙන් පැහැදිලිය. ඇතැම් වධකාගාර විස්තර, ජවිපෙ ඉදිරිපෙල හා දෙවනපෙල ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට පත් ආකාරයන්, ඔවුන් මරා දැමුනු ආකාරයන්, ඔවුන් මරණ මංචකයේදී දැක්වූ ප්‍රතිචාරයන් ආදී සංවේදී මෙන්ම රහසිගත තොරතුරු මොවුන් ප්‍රාථමික හෝ ද්වීතියික මට්ටමින් ගවේෂණය කර ඇති බව හඟවයි/හැඟවේ. එනමුත් ඔවුන්ගේ කරුනු ඉදිරිපත් කිරීමේදී කිසිදු අවස්ථාවක මෙම ඝාතනවලට අණදුන් අය හෝ ඝාතකාගාර පවත්වාගෙන ගිය අය පිලිබඳ හෙලිකිරීම් සිදුවන්නේ නැත. කරුනු ගවේෂිත අවස්ථාවක, විස්තර තමා සතු තත්වයක් යටතේ වුවත්, පාර්ශවීය ලෙස තම කතාපුවත ඉදිරිපත් කරමින්, රාජ්‍යයත්, රාජ්‍ය භීෂණයත් ආරක්ෂාවන ආකාරයට “ජවිපෙ භීෂණයේ අභයන්තර කතන්දරය” ලිවීමට ඔවුන් සවිඥානිකවී ඇත. ඒ සඳහා අනුග්‍රහය මෙන්ම අවසරය ද ඔවුන්ට ලැබී ඇත.

Ck6GiF8WUAA2iyY90 මුල කාලයේදීම ලියවෙන්නට ඇතැයි සැලකිය හැකි, 1995 දී පිටපත සම්පූර්ණ කෙරුනු, 1998 දී මුද්‍රණයක් ලෙස පිටවුනු ප්‍රින්ස් ගුණසේකරගේ A Lost Generation. Sri Lanka in Crisis. The Untold Story (අහිමිවුනු පරපුරක්. අර්බුදයක නිමග්න ශ්‍රී ලංකාව. නොකියූ පුවත) ඉහතින් සඳහන් රාජ්‍ය-හිතෛෂී ත්‍රිත්වයට විකල්ප ප්‍රවේශයක් ගන්නා, ඒවාහි එන ඇතැම් කරුනු ඛණ්ඩනය කරන්නට යෙදෙන එකකි. රාජ්‍ය මර්ධනයෙන් බේරී ලන්ඩනයට පලා යන ගුණසේකර තම පිටු 778ක කෘතිය පුරාවට ප්‍රශ්ණකර සිටින්නේ 1977-87 දශකය තුල රාජ්‍යයේ ක්‍රියාකාරිත්වයත්, ජවිපෙ දෙවැනි කැරැල්ලට මාර්ගය විවෘත කරදෙමින් ඒකාධිපතිත්වයකට හා අධිපතිවාදයකට රට යොමුකල (එසේ කල බවට ගුණසේකර තර්ක කරන) ජේ. ආර් ජයවර්ධන පාලනයත්ය. 77-87 දේශපාලන සන්දර්භය තුල 71 කැරැල්ලෙන් පසුව ජවිපෙ ස්ථානගතවන ආකාරයත්, ඔවුන් 1976-83 අතර දක්වන වෙස්ට්මින්ස්ටර් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඇති නැඹුරුවත්, 1983න් පසුව ක්‍රමයෙන් සෝදාපාලුවට යන සිවිල් අවකාශය තුල විකල්පමතධාරීන්ගේ හැසිරීමත් ආදී ධාරා කිහිපයක් ආශ්‍රය කරගනිමින් ගුණසේකර තම කරුනු දැක්වීම සිදුකරයි. කෘතියේ අවසාන පරිච්ඡේද ගණනාවක්ම වෙන්වන්නේ භීෂණ සමයේ සිදුවුනු මානව හිමිකම් උල්ලංඝනයන්, ඒවාට රුකුල් දුන් අය, එම අවස්ථාවන්හිදි නිලලත් හා නිලනොලත් අවිගත් පිරිස් කටයුතු කල හා ඔවුන් මෙහෙයවුනු ආකාරයත් ගැන විවරණයන් වෙනුවෙනි. අතුරුදහන්වුනු පිරිස් මෙන්ම හමුදා හා පොලිසී විසින් බලහත්කාරයෙන් පැහැරගෙන අත්අඩංගුවේ රඳවා සිටි පිරිස් වෙනුවෙන් ගුණසේකර මූලික වී පවත්වාගෙන ගිය මානව හිමිකම් කේන්ද්‍රය ගැන තොරතුරු මෙන්ම තම සහෘද නීතීඥවරුන් ලෙස “නාදුනන ඝාතකයින්” අතින් මරුමුවට පත්වූ චරිත ලංකාපුර, කාංචන අබේපාල මෙන්ම පොලිස් අත්අඩංගුවේ සිට රෝහල්ගත කිරීමේදී මියගිය නීතීඥ විජේදාස ලියනාරච්චි ගැනද “අභ්‍යන්තර තොරතුරු” ඔහු ඉදිරිපත් කරයි. එම ප්‍රචණ්ඩ මිනීමැරුම් විවේචනය කරයි. ගුණසේකරගේ කෘතියේ විශේෂත්වය වන්නේ ඔහු අවබෝධයට ගන්නා මූලාශ්‍රයන් හා කතෘ-කර්මකාදීන් සමාජයට නිරාවරණය කිරීමට ඔහු දක්වන සක්‍රීය උනන්දුවයි. උදාහරණයක් ලෙස රිචර්ඩ් ද සොයිසා ඝාතන කල්ලිය මෙහෙයවූවා යැයි සැකකෙරෙන රොනී ගුණසිංහ පොලිස් අධිකාරීවරයා රිචර්ඩ් පැහැරගැනීමේ සැලසුම සම්බන්ධව රංජන් විජේරත්න අමාත්‍යවරයා හා කර තිබුනු සංවාදයක් අමාත්‍යවරයා තමාට කී ආකාරයෙන් ගුණසේකර තම කෘතියේ ගෙනහැර දක්වයි. ජවිපෙ සම්බන්ධව යම් ලිහිල් බවක් ඔහු දැක්වූවත්, පක්ෂයක් ලෙස එහි අඩුපාඩු විචාරයට භාජනය කරමින් අදහස් පලකරයි.

prins-gunasekara
ප්‍රින්ස් ගුණසේකර 

භීෂණ සමයේ ක්‍රියාකාරකම් සම්බන්ධ සාහිත්‍යය ඉදිරියට එන්නේ 90 දශකයේ අග හා 2000 දශකය තුලිනුයි. ජවිපෙ මර්ධනයට පසුකලෙක සම්පත්දායකුද වුනු රංජිත් පීරිස් ද ඇතුළු වෙනත් ජනමාධ්‍යවේදීන් හා ගවේෂක ලේඛකයින්ද දායකවුනු විෂමජාතී සාහිත්‍යයක් මේ තුලින් බිහිවී ඇති අතර එය අදටත් ඉදිරියට වර්ධනය වන්නකි. එම පඨිතයට දායකවූවන් සිරිමල් විජේසිංහ වැන්නන්ගේ සිට ප්‍රසන්න සංජීව තෙන්නකෝන් වැනි පරාසයක විහිදී සිටී. අනෙත් අතට මෙම අක්ෂය Journalists for Democracy in Sri Lanka ( ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාධ්‍යවේදියෝ – JDS) වැනි සාමූහිකයන්ගේ සිට ලොව සියලු ජනිතයන් හා ජනනයන් සරල මනෝවිශ්ලේෂණයට භාජනය කරන වෙබ් රචකයන් දක්වා පරාසයක් පුරාද පැතිරී පවතී. මේ අතරට ධර්මන් වික්‍රමරත්න වැනි පුවත්පත් අතිරේක තුලින් ජවිපෙ මර්ධනය ගැන ලිපි සැපයූ, වඩාත් මෑතකදී ඒ සියල්ල වෙළුම් දෙකකින් යුතු කෘතියක් බවටද පත් කර, එතැනින් ද නොනැවතී කොම්රඩ් ලයනල් (2019) නමින් ලයනල් රණසිංහ සම්බන්ධ කෘතියක්ද ජනගත කල “ප්‍රවීණ මාධ්‍යවේදීන්” ද සිටී.

මේ සියලු දෙනා අතරට යෝජනා කල හැකි රෝහිත මුණසිංහ හා අජිත් පැරකුම් ජයසිංහ යන නාමයන් දෙකද මෙම රචනාවට ඉතා වැදගත් ය. මුණසිංහ විසින් රචිත 2000 වර්ෂයේදී පලකෙරුනු එලියකන්ද වධ කඳවුර කෘතිය ජවිපෙ දෙවනි කැරැල්ල සම්බන්ධව එක්තරා සන්ධිස්ථානයක් බඳු කෘතියකි. විප්‍රවාසීව වෙසෙමින් ලියවුනු මෙය භිෂණ සමයේ වධකාගාර අත්දැකීම් ග්‍රහණය කරගන්නා, ජීවිතය නිරුපද්‍රිතව රැකගැනීමට සමත්වූ වින්දිත වාචකයක් වන අතර සම්පූර්ණ පොතක් ලෙස පලවුනු සාක්ෂි හා ස්මරණ සටහනකි. මාස 8ක කඳවුරු ජීවිතයෙන් මාස 2ක් මාතර බ්‍රවුන්ස් හිල් හෙවත් එලියකන්දේ ගෙවූ මුණසිංහ තම කෘතියට එක්කරන්නේ සිංහ රෙජිමේන්තුවේ තුන්වන බලකාය හා ලංකා කාලතුවක්කු බලකාය යටතේ පවත්වාගෙන ගිය රහස් වධකඳවුරේ ඔහු ප්‍රත්‍යක්ෂ ලෙස අත්දුටු යථාර්ථයයි. 1989 නොවැම්බර් මස 14 වන දින තම නිවසේ සිටියදී ගේ වටලා තමා පැහැරගන්නා තැන සිට 1990 සැප්තැම්බර් පමණ ඔහු ලබන කොන්දේසි සහිත නිදහස අවස්ථවේදී රහසිගතව රටින් පිටුවහල්වන අවස්ථාව දක්වා සිද්ධීන් ඔහු ගෙනහැර දක්වන්නේ එම සිද්ධීන්වලට මුහුන දී දස වසක් ගෙවුනු අවස්ථාවකදීයි. අජිත් පැරකුම් ජයසිංහ එදා එම එලියකන්ද කඳවුරේ සිටි තවත් රැඳෙවියෙක් ය. ඔහු තමාගේ වධකාගාර අත්දැකීම්ද අඩංගු සවයංචරිතාපදානමය-නවකතාවක් කේ-පොයින්ට් නමින් 2018 දී රචනා කරයි. මෙම කෘතිය රචනා කරමින් ජයසිංහ පවසා සිටින්නේ එම කාර්යයට අවුරුදු තිහක්ම ගතවීම පිලිබඳව තමා සතුටුවන බවත්, එදා සිදුවුනු දේ හා එයට පාත්‍ර වර්ගයා ඒ බිහිසුනු මොහොත තුල ස්ථානගතවීම ගැන වඩාත් තුලනාත්මක හා පරිනත කියවිමක් ඔහුට අද තිබෙන බවත්ය. කෘතියට පෙරවදනක් ලෙස මෙම අදහස් දක්වන ඔහු කියා සිටින්නේ “වධක” හා “වින්දිත” යන සෘජු බෙදීමෙන් ඔබ්බ්ට ගිය කියවීමකදී මේ සියලු දෙනාම එක්තරා මොහොතකදී, රටේ එදා පැවති අසාමාන්‍ය හා විපරිත තත්වයන් යටතේ දෙපාර්ශවයකට බෙදීගිය “වින්දිත සමූහයක්ම” පමණක් බවයි.

new-web-Recovered-11
අජිත් පැරකුම් ජයසිංහ

2009 වසරෙන් පසුව, පශ්චාත්-යුධ වාතාවරණය හරහා ඉදිරියට ඇදී එන ප්‍රධාන දේශපාලන බලවේග හා ප්‍රධාන නැඹුරුතා දෙකක් ශ්‍රී ලංකාවේ දැකිය හැකිය. ඉන් වඩා ප්‍රබල කඳවුර සිංහල-බෞද්ධ සේසතක් ඔසවා සිටින අතර බලය ඒකරාශී වූ කේන්ද්‍රගත පාලනයකට බර තබන භාවිතයක් සාධනය කොට ඇති, ජාතික සටන්පාඨ වලින් ඔප වැටුනු දේශීයත්ව ප්‍රස්තුතය නිතරම මෙනෙහි කරන එකකි. මෙහි දෙවන කඳවුර නිතරම බලය බෙදාහැරීම හා බෙදාගැනීම ඇගයුම් කරන, ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී නැමියාවක් එලිපිටම රඟ දක්වන, බහු-ජාතික, බහු-ආගමික විවිධත්වය තම ප්‍රතිපත්ති තුලට ගෙන එන කඳවුරයි. 2019 වසරේ නොවැම්බර් මස පැවැත්වුනු ජනාධිපතිවරණය තෙක් ආ මාවතේ සහ එයින් පසු තත්වය සැලකිල්ලට ගැනීමේදී මෙම රචනයට මුල් වුනු ඇතැම් චරිත තත්කාලීන දේශපාලන ශ්‍රේඪියේ ස්ථානගත වන ආකාරය හා ඔවුන් අද ශක්තිය දෙන ආස්ථානයන් ගැන විමසීමද එක්තරා අතකින් කාලෝචිත යැයි සිතේ.

din-09-02-pg04-R1
පශ්චාත්-යුධ ලංකාවේ වඩාත් පැහැදිලිව මතුවී තිබෙන බල ප්‍රවාහ දෙක අතර නිම්නය

මැතිවරණ සමයට ආසන්න ඉසව්වේදී මාධ්‍ය තුල තම ක්‍රියාකාරිත්වය, ප්‍රවර්ධනය කල අදහස් ආදිය සැලකීමේදී ඉහත සඳහන් කෙරුනු අය අතරින් රෝහිත මුණසිංහ (එදා හිටපු-ජවිපෙ), ධර්මන් වික්‍රමරත්න (ජවිපෙ අගතිය පුවත්පතට ගෙනා, ශ්‍රීලනිප නැඹුරුවක් තිබුනා යැයි යෝජනා කල හැකි), සී.ඒ චන්ද්‍රප්‍රේම (එදා රාජ්‍ය-හිතෛෂී – එජාප) වැන්නන් එක අක්ෂයකට – එනම්, ජාතිකවාදී අක්ෂයට – අද රැස්වී ඇති බවක් දැකිය හැකිය. ඔවුන්ගෙ එදා-මෙදා තුර තිබෙන්නට ඇති මතවාදයන් හා සැකසංකා දුරුවී, දුරස්ථභාවයන් වියැකී එකම වේදිකාවක “දැඩි විනයගත පාලනයක්” පොරොන්දුවන මැතිවරණ පත්‍රිකාව වටා ඔවුන් රැස්වුනා සේය.   මැතිවරණ සමයේදී සක්‍රීයව තම ෆේස්බුක් පිටුව යොදාගත් වික්‍රමරත්න ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන කඳවුරු දෙකටම අගතිදායක පුවත් බෙදාහදාගත්තේ එදා “ජවිපෙ වෙනුවෙන් විත්තියක්” ලෙස අප පිලිගන්නට යෙදුනු පුවත් ලිපිම නැවත නැවත බෙදාගනිමිනි. බල ආකෘතිය සලකන්නේ නම් මෙතනදි වඩා ඒකාකාරී බවක් පෙන්වන්නේ චන්ද්‍රප්‍රේමය. මිලිටරිවාදී යැයි ද දැඩි පාලනයක් යැයිද සාමාන්‍ය විඥානයේ චිත්‍රණය වන ක්‍රමය සමග ඔහු නිරතුරුව සිටින බවක් පෙනේ. මැතිවරණයෙන් පසුව අනුප්‍රාප්තික බල ව්‍යුහය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා නිත්‍ය නියෝජනය ලෙස නම් කෙරුනේද චන්ද්‍රප්‍රේමය. මුණසිංහ මෙහිදී නියෝජනය කරන්නේ ඔහුගේ පරපුරේ ලිහිල් වාමාංශය නොහොත් 80-දශකයේ ජවිපෙට හිතෛෂී වුනු ජවයේ නෂ්ඨාවශේෂයයි. මෙහිදී “ලිහිල්” යන අර්ථනිරූපනයට යොදාගන්නේ න්‍යායට වඩා භාවිතයෙන් සහ සාමාන්‍ය යුක්තිය-අයුක්තිය පිලිබඳ සංවාදයෙන් තම කාඩර්කාරබව සකසාගත් පක්ෂයේ යටි තලයයි.  අජිත් පැරකුම් ජයසිංහගේ නියෝජනය හා භූමිකාව එදා-මෙදාතුර ලිබරල් ධාරාව දෙසට ඇදී ගිය එකකි. මානව හිමිකම්, සමාජ අයිතිවාසිකම්,  බහුජන අයිතිවාසිකම් වැනි ධාරා හරහා නූතනත්වය හා සබැඳි පථයක ගමන්කරන ඔහු සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස සාධනීය වැඩකොටසක් තම මාධ්‍ය භාවිතය හරහා කර ඇතැයි යෝජනා කල හැක. පලමු පරපුරේ බ්ලොග්කරුවෙකු ලෙසත් සමාජ විචාරකයෙකු ලෙසත් පසුගිය දශකයකට වැඩි කාලයක ඔහු නියුක්ත වුනු දේශපාලන මැදිහත්වීමේ පදනම මෙයයි.

ප්‍රශ්ණයක් ලෙස නගා ප්‍රශ්ණාර්ථයක් ලෙස ඉතිරිකල හැක්කක් වන්නේ ප්‍රින්ස් ගුණසේකර අද ජීවත්ව සිටියා නම් ඔහු යෝජනා කරන පාර්ශවය කුමක් විය හැකිව තිබුනේද යන්නයි.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s