වින්දිතයින් ගැන ලිවීමේ භාෂාව වෙනස් කරගැනීමට කාලයයි.

88-90 ආණ්ඩුවේ හමුදා, පොලිසිය සහ අතුරු හමුදා විසින් ජවිපෙ මර්ධනය කරපු ආකාරය ගැන කතන්දර පින්තූර ද සමගින් පත්තර වල පලවන ආකාරය අපි නිතරම දකිමු. ඒ ඇතැම් පත්තර නැවත නැවත ඒවාම පලකරනවා ද දකිමු. කොටස්වලට ඡේදනය කරමින්, සිරකරුවාගේ පිටුපසට කර විලංගු ලූ දෑතට යා කල දම්වැල බාල්කයේ එල්ලන තැනින් මතු සම්බන්ධ කර ඉතුරු කොටස ගැන කුතුහලයක් උපද්දවා මේ සතියේ සටහන නිම කරන ආකාරය ද දකිමු.

තවත් ඇතැම් සටහන්වල මේ කැරලිකරුවන් ගැන සඳහන් කරද්දී විස්තරය ආරම්භ වන්නේ මවු කුස පිලිසිඳගත් තැන සිටය. පවුලේ විස්තර, ළමා විය ආශ්‍රය කරපු අය, අත්අඩංගුවට පත්වූ හැටි, විඳපු වද වේදනා, මිය යන්න පෙර කරපු කතාව, මරණයට පත් වූ පසු හමුදාවෙන් මිනියට කල දේ, එය ගෝනියේ බාපු ආකාරය, කැරලිකරුවාගේ නැඟනිය දැන් පදිංචි රට, නැඟනියගේ වැඩිමහල් පුතා කරන රස්සාව – ඔය ආදී දේ.

ධර්මන් වික්‍රමරත්න වැන්නන්ද, සති අග අතිරේක වලට ලියූ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් වැනි අය අතරත්, පත්තර අවකාශයෙන් එහාට ගොස් තත්වය විමසීමේදී හමුවන්නන් අතරත් වැඩි වෙනසක් නැත. 88-90 භීෂණයේ ඕනෑම මට්ටමේ ගවේෂණයක ලිප් ගල් තුන මෙන් අදටත් සිටින්නේ ඒ.සී අලස්, සී.ඒ චන්ද්‍රප්‍රේම, සහ රොහාන් ගුණරත්න ය. ජවිපෙ කැරැල්ල සම්බන්ධ ඕනෑම ලියවිල්ලක ග්‍රන්ථාවලියේ සිට පාද සටහන් දක්වා සෑම අවස්ථාවකදීම හමුවන මේ තිදෙනා කැරැල්ල අවසන් වුනු උනු උනුවේම දැඩි උද්‍යෝගයකින් තම පොත් පල කලවුන් ය. චන්ද්‍රප්‍රේම හා ගුණරත්නගේ සාකච්ඡාව තුලදීත් වධකාගාරවල අභ්‍යන්තර තත්වය, සිරකරුවන් වධ බන්ධනයට ලක්වන ආකාරය, ඔවුන්ව මරණයට පත් කරන ආකාරයන්, අදාල දින වකවානු, (උපාලි ජයවීර වැනි) ඇතැම් සිරකරුවන් කල පාපෝච්ඡාරන ආදිය ගැන පැහැදිලි විස්තර ඇත.

ව
කැරැල්ල සම්බන්ධ “අතිරේක” සාහිත්‍යය

මෙම පත්තර ගත්තත්, කැරැල්ලේ “අභ්‍යන්තර කතාව” කියන බවට අපට පොරොන්දු වන ගුණරත්න-චන්ද්‍රප්‍රේම පන්නයේ පොත් ගත්තත් එක පොදු සාධකයක් ඇත. වධ බන්ධනයට ලක්ව ඉතා කෲර අන්දමින් මිය යන පිරිසේ ලැයිස්තු සවිස්තරාත්මකව බෙදාහදාගෙන ඇතත් ඒ මරණ නියෝග කල හා ඒ නියෝග ක්‍රියාත්මක කල අය ගැන ඇත්තේ හැංගි හොරා සාකච්ඡාවකි. ඒ නම් ගම් සඳහන් වන්නේ ව්‍යංගයෙනි. ඒ බිහිසුනු මරණ ක්‍රියාත්මක කිරීම සටහන් කරන්නේ කර්මකාරකයෙනි. ඉතා වැඩි අවස්ථා ගණනක් ඇත්තේ ඒ වගකිව යුත්තන් ගැන කිසිම සඳහනක් නැති, ඔවුන්ව චේතාන්විතව ආවරණය කරපු සටහන්ය.

508480
රොහාන් ගුණරත්නගේ කැරැල්ලේ “අභ්‍යන්තර කතාව”

“මෙහිදී අපට මතුවන ගැටළුව වන්නේ, මෙතරම් ආසාවෙන් තළු මරමින් නැවත නැවත පල කරන, නැතිනම් ආයාසයෙන් කරුනු එකතු කරමින් සම්පාදනය කරන ලිපි හා කෘති එසේ ලියන්නේ ඇයි? යන්නයි. ඒවා එසේ ලියන්නේ කාට කුමක් සඳහාද? යන්නයි. අපරාධයක වින්දිතයාගේ බිහිසුනු මරණය සති ගණන් අදිමින් ලියා, ඔහුව එසේ මරණයට පත්කල පුද්ගලයා හෝ ඊට අණ දුන් කෙනා බොඳ කර හැරීම රචනාත්මක පදනමින් දුර්වල නිර්මාණයකි. නමුත් මේවා රචනාත්මක සුන්දරත්වය පදනම් කොටගෙන ලියු ඒවා නොවේ. යම් යුගයක, යම් දේශපාලන මංසන්ධියක නියෝජනය වෙනුවෙන් ලියන්නට යෙදුනු ඒවා ය. රාජ්‍ය පාක්ෂික සිතින්, රාජ්‍යය වෙනුවෙන් සමාව භජනය කරන ලීලාවෙන් රචනයේ යෙදෙන ගුණරත්න, අලස් හා චන්ද්‍රප්‍රේම ගැන අපට කිසියම් හෝ අදහසක් ඇතිකරගත හැකි වුවත් නිදහස් ලේඛකයින් ලෙස පෙනී සිටින ඇතැම් අය මේ මර්ධන කතිකාව තිරස්-සිරස් කරගන්නා ආකාරය තේරුම් ගැනීම අපහසු ය.

අප පරපීඩකත්වයට ආශා කරන සමාජයක් වුවත් මෙය ඊට එහා ගිය වින්දිතභාවයේ නියෝජනය පිලිබඳ ගැටළුවක් ලෙස සිතිය යුත්තකි. බුදු පිලිමයක් ඉදිරිපිට ශ්‍රද්ධාව ඉතිරෙන, අතීත වාරි තාක්ෂණයකින් හික්මුනු අපි දායාද කරගත් සමාජයේ වෙස් මුහුන යටින් ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා භීෂණය විසින් ඉක්මනින් වෙලා ගන්නා රික්තකයකි. එහිදීත් බෙලහීනයා හැකි උපරිම කෲරත්වයකින් පීඩනයට පත්වීම දැකීම හා රසවිඳීම අපගේ විශේෂ ලැදියාවකි. මස්ඉඹුලගේ පොතක් කියෙව්වත් අප වඩාත් ආශා කරන්නේ අව-වරප්‍රසාදිත ගැහැණිය බිහිසුනු ආකාරයකින් මිය යනවා දකින්නය.

එහෙත් මගේ මුල් කාරණයෙන් අවසන් කරන්නේ නම් පත්තරවල වුවද භීෂණය හා වින්දිතභාවය ගැන මෙගා පලකිරීම හෝ එසේ බිහිසුනු මරණ අත්කරගත් වුන් ප්‍රදර්ශණ භාණ්ඩ කිරීමේ භාවිතය අවසන් කිරීමට කාලය මෙය යැයි සිතේ. 1971 කැරැල්ල අවසන් වී දැනට අවුරුදු 49 කි. 88-90 මර්ධනයට අවුරුදු 30 කි. ඊලාම් විමුක්ති සිවිල් යුද්ධය අවසන් වී වසර 11කි. කුමන පාර්ශවයකට අයත් වුවත්, අප අතර කුමනාකාරයේ මතගැටුම් තිබුනත් වින්දිතභාවය හා එහි නියෝජනය සම්බන්ධ භාෂාව හා ප්‍රවේශය තුල වින්දිතයා බලාත්මක කල යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම හා ආචාර ධර්ම අප නිෂ්පාදනය කරගෙන බෙදාහදා ගත යුතුය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s