“ඔබේ යහපත වෙනුවෙන් එය අමතක කර දමන්නද?”

මෙහිදී කිසිවෙකු එල්ලුම් ගස් යැවීමක් හෝ පීඩාවට පත්කිරීමක් සිදුවිය යුතුද නැහැ. සිදුවිය යුත්තේ කාපට් එක යටට තල්ලු කල කුණු එතනින් එලියට ගෙන ප්‍රසිද්ධියේ, සම්මත ආකාරයට බැහැර කිරීමක්. අවංකව, හෘද සාක්ෂියට එකඟව වැරදි පිලිගෙන, ඒ පැවති තත්වයට වගවෙමින්, සමාව ගතයුතු අය සිටීනම් සමාව ඉල්ලා සිටීමක්. පිිලිගත හැකි නීති රාමුවක් තුල යුක්තිය පිහිටුවීමක්.

මේ කවිය ඇතැම් විට මාත් සමඟ උසස් ‍‍පෙල සාහිත්‍යය කල අයට මතක තිබෙනන්ටත් හැකියි. දෙවන ලෝක යුද්ධයත් සමඟ ජර්මනියෙන් විප්‍රවාසීව සිට, පසු කාලෙක ලාංකික ජාතිකයෙක් හා විවාහ වී තම ජීවිතයේ ඉතිරි කාලය කොළඹ ජීවත් වුනු ඇනලීසා කැට්ස් නොහොත් ඈන් රණසිංහගේ කවියක්. යුදෙව් ජාතික ඇගේ පවුලේ (මට මතක ආකාරයට) පියා හැර අනෙක් සහෝදර-සහෝදරයන්, මව ඇතුලු සියලු දෙනා නාසි හමුදා අතින් මිය යනවා. ඇය පසුකාලීනව ලියපු කවි සැලකිය යුතු ප්‍රමාණයක් මේ අතීතය සිහිපත් කරනවා. මම මුලින් සඳහන් කල කවියේ නම “Vivre In Peace” – “සාමයෙන් ජීවත් වීමට නම්” වගේ අදහසක්.

1_8J15TPVdbKtmmniF-euveA
ඈන් රණසිංහ

මේ කවිය දිගහැරෙන්නේ ලෝක යුද්ධ සමයේ ආර්යවාදී ජර්මානු හෙවත් නාසි පාලනය අතින් සිදුවුනු මානව විනාශය ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් ගැන පලවුනු විවෙචනයකට ප්‍රතිවිවේචනයක් ලෙසයි. ප්‍රදර්ශනය විචාරය කරන්නා අසා සිටින්නේ – “ජර්මානුවන් අතින් අපරාධයක් වුනා. ඒත් මේක හැමදාමත් මෙහෙම මඩේ දම දමා හෝදන්නට අවශ්‍ය වන්නේ ඩිප්‍රෙෂන් සමඟ අනුරාගයෙන් වෙලී සිටින්නෙකුට පමණකි” වැනි දෙයක්. කිවිඳිය මෙයට පිලිතුරු සපයමින් පවසා සිටින්නේ ඡායාරූපයකින් එහාට ගිය භීතිය, ම්ලේච්ඡත්වය, මරණය, අහිමි වීම සජීවීව තමා ඉදිරියේ මැවුනු බහු-විධිත අත්දැකීමක් නැවත නැවත ස්මරණ කිරීම වැදගත් බවත් එය ඒ භීෂණයේ ඡායාවක් පමණක්” බවයි. “ඔබේ යහපත වෙනුවෙන් එය අප අමතක කල යුතු වන්නේ ඇයි?” ඇය එතනදී විචාරකයාගෙන් අසා සිටිනවා.

අද, 2020 මැයි 18 වෙනිදා වනවිටත් සමස්ත ශ්‍රී ලාංකික දේශයම ග්‍රහණය වන ආකාරයේ පශ්චාත්-ගැටුම් වැඩසටහනකට හෝ එයට අවශ්‍ය පරිකල්පනයකට යාමට අප තවමත් අසමත්ව සිටිනවා. ලංකාවේ රාජ්‍යය ගැටුම් සම්බන්ධව දේශීය මට්ටමින් සාමාන්‍යයෙන් අනුගමනය කරන පිලිවෙල වන්නේ කාලයාට ඉඩදී බලාසීටීමේ සහ රොඩු බොඩු සියල්ල කාපට් එක යටට අතුගා දැමීමේ ක්‍රියාවලියයි. ජාත්‍යන්තරව බොහෝ විට සිදුවන්නේ කොටු පනිමින්, කොමිසම් පත්කරමින් ගෙන යන ක්‍රියාදාමයක් (මේ සම්බන්ධයෙන් ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් විසින් වාර්තාවක් පවා සම්පාදනය වී තිබෙනවා). යුද්ධයේ අවසන් කාලයේ මෙන්ම පසු-යුධ සමයේ මතුවුනු ඇතැම් සංකීර්ණතා අප ඉදිරියේ අදටත් තිබෙනවා. උතුරු ප්‍රදේශයේ ඉඩම් හා රැකියා සම්බන්ධ ගැටළුව විවිධ ස්වරූප වලින් තිබෙනවා. ඇතැම් ඉඩම් හා සම්ප්‍රදායික වගා හා ධීවර බිම් නිදහස් කරදුන්නත් එය උද්‍යෝගයකින් කරදුන් යලි පවරාදීමක් නොවේ. ඒ සඳහා දැවැන්ත අරගලයක් කරන්නට වසර 30ක යුද්ධයෙන් බැට කෑ ඒ සමාජයට සිදුවුනා. ඒ තත්වය තුලදීත් හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක කර්මාන්තය සම්බන්ධ අංශ ආදී නවීන ආර්ථිකය හා සම්බන්ධ තැන් රැසක ආධිපත්‍යය අදටත් පවතින්නේ ඒ ප්‍රදේශවල සාමාන්‍ය ජනයා අතේ නොවේ.

page_1_thumb_large
අතුරුදහන් වූවන් සඳහා යුක්තිය සොයා යන පවුල් සම්බන්ධ ක්ෂමා ආයතන වාර්තාවක් 

මේ අතර, දෙමළ ජාතික දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය යටයමින්, මතුවෙමින්, පවතිමින් තිබෙන එකක්.උතුරේ ජනතා නියෝජිතයින් මේ ගැන පසුගිය සතියේදීත් අගමැති මහින්ද හමුවී තිබුනත්, මෙය ඉතා පැරණි ප්‍රශ්ණයක විපරිත වර්තමාන අවස්ථාවයි. විවිධ පාර්ශවකරුවන් රැසක් උතුරේදීත්, දකුණේදීත් අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධව මතයක් ගොඩනගන්නට තැත් කලා. විශේෂ නිති යටතේ අත්අඩංගුවට ගෙන, පාපෝච්ඡාරණ මත සිර දඬුවම් නියම වූවන්ද ඇතුලුව සන්නද්ධ දෙමළ ව්‍යාපාරවලට සම්බන්ධ යැයි කියන තවත් 70කට නොඅඩු පිරිසක් සිරගෙවල්වල සිටින බව පැවසෙනවා. ඉතා අඩු වයසින් සිරභාරයට පත්වූ මේ ඇතැම් අය ද්වේශසහගතව සිරගත වූවන් බව විසාකේස චන්ද්‍රසේකරම් වැනි පර්යේෂකයින් කල අධ්‍යයනන් හරහා යෝජනා වෙනවා. ඒ ඇතැම් අය දැන් අවුරුදු 20 ගණනක් මෙම සිරගෙවල්වල සිටින්නේ සිවිල් යුද්ධයේ අවසන සිරභාරයට පත්වුනු සන්නද්ධ කැරලිකරුවන් ද පුනරුත්තාපනයෙන් පසුව යලි සමාජගත කෙරුනු තත්වයක් යටතේයි. මේ අතරම, යුද්ධයෙන් හා පසු-යුධ සමයේ අතුරුදහන් වුනු අය ගැන යුක්තිය අපේක්ෂාවෙන් කෙරෙන වසර ගණනක් දිග්ගැස්සුනු අරගලයක් ද රටේ පවතිනවා. මෙවැනි මතුපිට කාරනා හා බැඳුනු ව්‍යාකූල සමාජ-දේශපාලන ගැටළුවක් නොඇසූ කන් ව, ඒ ගැන අවධානයක් යොමු නොකරමින් රාජ්‍යය ඉදිරියට යන බවකි දක්නට තිබෙන්නේ.

cd615529e0194dfd855f9bbe20604251_18
යුද්ධයෙන් පසු අවධිය තුලදීද තම අයිතීන් වෙනුවෙන් අරගල කරන උතුරු වැසියන්. 

අද මැයි 18 වෙනිදා මගේ ෆේස්බුක් එකේ දෙදෙනෙක් වෙන වෙනම දමා තිබුනු පෝස්ට් දෙකක සාරාංශය පහතින් තිබෙනවා. දකුණේ ජීවත් වන පලමු කෙනා පවසන්නේ, රාජ්‍ය හමුදාව එදා නොසිටින්නට මේ රට අද අලු ගොඩක් වන්නට තිබූ බවයි. මොහුට 2009 මැයි මාසය වන විට වයස අවුරුදු 13යි. 2001 සටන් විරාම ගිවිසුම ඇතිවන අවස්ථාව වනවිට අවුරුදු 6යි. ඔහු උපත ලබන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේ සාකච්ඡා බිඳවැටී විමුක්ති කොටි සංවිධානය නැවත යුද්ධයට අවතීර්ණ වන වකවානුවේදීයි. දෙවන පෝස්ට් එක උතුරේ ඉපිද, එහි හැදී වැඩී, යාපනයේ උසස් අධ්‍යාපනය ලබා, ජීවිතයේ එක් අවස්ථාවකදී අත්අඩංගුවට පත්ව එහිදී වධබන්ධනයටද ලක්වුනු (එසේ වුනු බව පවසන) අද ලංකාවෙන් බැහැරව ජීවත්වන කෙනෙක්ගෙන්. ජාතිවාදී සිංහල හමුදා විසින් තම භූමිය අත්පත් කරගනිමින් නිමාවට පත්වුනු යුද්ධය අමතක නොකල යුතු බව ඔහු පවසනවා. අවසාන සටන් විරාම කාලයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි මොහු අද හතලිස් වියට ආසන්න කෙනෙක්. ප්‍රහාරක ජෙට් යානාවක් ඔහු මුල් වරට දැක ඇත්තේ අවුරුදු 8-9 වැනි කාලයේදී. ගුවනින් පැමිණ ප්‍රහාර දෙන ආකාරය ඔහුගේ ළමා වියේ අත්දැකීමක්. ඒ 80 දශකයේ අග භාගයේදීයි. ජිවිතයේ අවිනිශ්චිතබව සමඟ ජීවිත කාලය පුරාම ජීවත්වුනු ඔහු අදටත් (මා දන්න තරමින්) සරණාගත තත්වයේ සිටින්නෙක්.

sl_national_anthem_all-1200x550
සංස්කෘතික සහජීවනය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කර ඇති අවස්ථාවන් තුලදීද කපටි දේශපාලකයින් වාර්ගික බෙදීම පවත්වාගැනීමට ඉදිරිපත් වීම ජාතික ගීය පිලිබඳ අර්බුදයේදී දැකගත හැකිවිය.

යුද්ධයෙන් තවමත් පීඩා විදින විවිධ ජන කණ්ඩායම් ගැන 2020න් ඇරඹෙන දශකයේදී වත් අප 20-20 දැක්මක් (20-20 vision) ඇති නොකරගතහොත්, සහ රාජ්‍ය මට්ටමින් මේවා සම්බන්ධව පැහැදිලිව මැදිහත් වී ජන විඥානය මෙහෙයවීමක් සිදුනොවුනහොත් එය ඛේදවාචකයක අනවශ්‍ය දිග්ගැස්සීමක්. දේශපාලන සිරකරුවන්ට පසු-යුධ සමයක අත්විය යුතු යුක්තිය, භූමිය හා ප්‍රාදේශීය සම්පත් ඒ ජනතාව අතට පත්කිරීම, අතුරුදහන් කෙරුනු හා මරණයට පත්කෙරුවන්ට අත්විය යුතු යුක්තිය වැනි දේ තවදුරටත් පමා නොකල යුතුයි. මා මීට පෙරදීත් සඳහන් කර ඇති ආකාරයට මෙහිදී කිසිවෙකු එල්ලුම් ගස් යැවීමක් හෝ පීඩාවට පත්කිරීමක් සිදුවිය යුතුද නැහැ. සිදුවිය යුත්තේ කාපට් එක යටට තල්ලු කල කුණු එතනින් එලියට ගෙන ප්‍රසිද්ධියේ, සම්මත ආකාරයට බැහැර කිරීමක්. අවංකව, හෘද සාක්ෂියට එකඟව වැරදි පිලිගෙන, ඒ පැවති තත්වයට වගවෙමින්, සමාව ගතයුතු අය සිටීනම් සමාව ඉල්ලා සිටීමක්. පිිලිගත හැකි නීති රාමුවක් තුල යුක්තිය පිහිටුවීමක්.

සිවිල් යුද්ධයකින් පසුව උදාවෙන සමය යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීමට වෙන් විය යුතුයි. ජයග්‍රාහිකයින්-පරාජිතයින්, ම්ලේච්ඡයින්-ශිෂ්ඨයින්, උතුම් උන්-නීච උන්, අපේ උන්-උන්ගෙ උන් කියන දේශපාලන බෙදීම්වලින් එහාට නොයමින් බහු-වාර්ගික රටක මේ දේ සිදුකිරීමට කොහෙත්ම බැහැ. “කොටි නැගිටින” බවට කපටි දේශපාලකයෙක් මුරගාන මොහොතේ රටේ සැලකිය යුතු පිරිසක් සලිතවන තත්වයකයි අප තවමත් සිටින්නේ. මේ සියල්ල වෙනස් විය යුතුයි. උතුරේ ජන ජීවිතයේ ගැටළු දකුණේ විඥානය සමඟ සමපාත වියයුතුයි. අප දැනටමත් අවුරුදු 11ක් ප්‍රමාද වැඩියි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s