රාවණා ඉන්දුනීසියාවේ ද ජීවත් විය: වීර කාව්‍ය සම්ප්‍රදාය සම්බන්ධ තුලනාත්මක ආරම්භක සටහනක්.

මහා කාව්‍ය පරිකල්පනය සහ අපි

වීර කාව්‍යයක් ඔස්සේ තමන්ගේ පරිකල්පිත අතීතය සොයන්නට යාම අලුත් දෙයක් නොවනවා සේම පරිකල්පිත අතීතය වීර කාව්‍ය ඇතුලේ හමුවීමේ තත්වයට ද සම්භාව්‍ය උපහැරණ ඇත. මීට හොඳම නිදසුන සපයන්නේ රෝම අධිරාජ්‍යයේ මහා කවියා වූ වර්ජිල්ගේ “ඉනීඩ්” ( ක්‍රිපූ 29-19) කෘතියයි. රෝම අධිරාජ්‍යයේ තුන් කාලීන ශ්‍රේෂ්ඨත්වය, ඔගස්ටස් අධිරාජ්‍යයාගේ හා ඒ පරපුරේ මහේශාක්‍ය බව ආදී වර්ජිල්ගේ සමකාලීන රෝමය තුල දේශපාලන වශයෙන් වැදගත් විය හැකි කරුණුද සම්භාව්‍ය වීර කාව්‍ය සම්ප්‍රදායේ හමුවන අනාගත වැකියක මුවාවෙන් ආඛ්‍යානගත කරන වර්ජිල්ගේ කෘතිය ඉතා තදින් රාජපාක්ෂිකවූත්, අධිරාජ්‍යගැති වූත් ලියවිල්ලකි.

රාවණ චරිතය ආශ්‍රිත පරිකල්පනය ලංකාවේ බිම් මට්ටමේ දේශපාලනය තුලට පිවිසෙන්නේ පශ්චාත්-යුධ යථාර්තයක් ලෙසිනි. රාවණ යන නම යෙදූ බලකායන්, ඒවා හා අනන්‍ය වන දේශපාලන පැවිද්දන්, එම බලමුලු වලින් සවිබලගැන්වෙන ග්‍රාමීය හා අර්ධ නාගරික ජන සමූහයන්ද, ඒවාට ආවරණය සපයන ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ මෙන්ම ජන මාධ්‍යද පසුගිය වසර අටක පමණ කාලය තුල අපි අත්දැක ඇත්තෙමු. මේ බලකාවල බැනර්වල සදහන් රාවණ ඇත්තටම වාල්මිකී නම් භාරත පඬිවරයා වෙත කතෘත්වය පැවරෙන “රාමායණයේ” රාවණට වඩා දේශපාලන ව්‍යාපාරයක් විසින් ලංකාවේ ජනවහරින් උකහාගත් ඇතැම් දෙයකට නව මතවාදයක් කවා පෝෂණය කර මතුකරගන්නට තැත්කරන රාවණ කෙනෙකුගෙන් ජීවය ලත් බව සිතේ.

91Davnm1B4L
මහාභාරතයේ පෙන්ග්වීන් ප්‍රකාශනය

කොටස් නොහොත් ඛණ්ඩ පහකින් (ඇතැම් අය මෙය හයක්ය, හතක්ය යැයි පවසයි) යුතු වාල්මිකී ගේ “රාමායණය” තුල රාවණ චරිතය ප්‍රධාන තැනක් ගන්නේ ආරණ්‍ය ඛණ්ඩයේ සහ ලංකා ඛණ්ඩයේය. සීතා පැහැරගෙන ලංකා රාජ්‍යයට (මෙය ශ්‍රී ලංකාවමදැයි යන්නත් විද්වතුන් අතර විවාදිත කරුණකි) ගෙන එන්නේ සහ ඇයව බේරාගෙන රාවණ මරා දැමෙන්නේ පිලිවෙලින් මෙම ඛණ්ඩ දෙකෙහිදිය. රාවණ මරා දමන රාම, ලංකා රාජ්‍යය තුල විභීෂණ නම් තම සොයුරා සිහසුනට පත්කරයි. “රාමායණය” ඉතාම සංකීර්ණ සංස්කෘතික ප්‍රපංචයකි. සම්භාව්‍ය බටහිර සාහිත්‍යයේ එන ග්‍රීක මහා කවි ද්විත්වය වන හෝමර්ගේ “ඉලියඩ්” හා “ඔඩිසි” තරම්ම මෙය සංකීර්ණ වන හේතු කිහිපයකි. එහි පලමුවැන්න වන්නේ මේ මහා කාව්‍ය රචනයට මූලික වන පරිකල්පනය, ඒ ඒ සමාජයන්ගේ දේශපාලන හා සංස්කෘතික මතවාදයන් අපගේ තත්කාලීන නිර්වචන හා මතවාදීමය රාමූන් හා ගලපාගැනීමේ තිබෙන දුෂ්කරතාවයයි. එයට හොඳම උදාහරණය සපයන්නේ පුරාතන භාරතය යන භූමියේ දිග පළල පවා නිශ්චය කරගැනීමට හා එය එදා තිබෙන්නට ඇති ආකාරය ගැන චිත්‍රණය කරගැනීමට අපට ඇති අපොහොසත් බාවයයි. පකිස්ථානය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකාව භාරතයේ කොටසක්ද? නොවේද?) වැනි ජාතික රාජ්‍ය සංකල්පයෙන් අධිනිශ්චය වුනු සංස්කෘතික සාක්ෂරතාවයකින් මේ වෙනත් ඥාන පදනමක පිහිටන මහා කවියක එන සංකේතාත්මක චරිත ඔස්සේ තම භූ-දේශපාලන ඒකකයේ ආරම්භය සෙවීම කල නොහැක්කකි.

“මහා භාරතය” හෝ “රාමායණය” රචනය වන පරිකල්පනය අපෙන් දුරස්ථවන ආකාරයටම මේ කාව්‍යයන් රචනය වන අරමුණු ද අපෙන් ඈත්ව පිහිටි ඒවා වේ. අප අතට මේවා අද පත්වී ඇත්තේ ප්‍රධාන වශයෙන් පොසිල බවට පත්වුනු සංස්කෘතික මෙවලම් ලෙස විනා පවතින හා හුස්ම ගන්නා සාහිත්‍යයක් ලෙස නොවේ. නමුත් මෙම මහා කාව්‍ය රචනය වූයේත් හා ඒවායේ විකාශනය සිදුවූයේත් එදාට වලංගු වුනු තත්කාලීන දේශපාලන, සමාජ හා සංස්කෘතික ධාරාවන් හරහායි. වර්ජිල්ගේ මා මුලින් සඳහන් කල තත්වය ඊට උදාහරණ සපයයි. වර්ජිල්ගෙන් වෙනස් වන හෝමර්, වාල්මිකී හා ව්‍යාස (මහාභාරතයේ සම්ප්‍රදායක කතෘ) ලෙස අප හඳුන්වන අයගේ කෘතිවල ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ මේවා ප්‍රාදේශීයමූලීකව හා ජනමූලීකව දියුණුවුනු අලිඛිත සම්ප්‍රදායක් ද, එකිනෙකින් වෙනස්වන ද්විතියික සාහිත්‍යයකටද ජීවය සපයා ඇති වීමයි. “රාමායණය” පමණක් ඉන්දියානු භාෂා රැසකින් ලියවී ඇති අතර, එය අග්නිදිග ආසියාතික කලාපයේ රටවලටද පැතිරී එම ප්‍රදේශවල ජන සාහිත්‍යය පෝෂණය කරමින්ද, ඒ ඒ සංස්කෘතිකාංග උකහා ගනිමින් එම සංස්කෘතීන්වල පරිකල්පනයට එක්කරමින්ද වර්ධනය වූවකි. අනෙක් අතට මේ ඇතැම් කාව්‍යවල ඇතැම් ඛණ්ඩ පසුකාලීන එකතූන් වන අතර කතෘත්වය පවා සාමූහික හා සමාජයීය බලපෑමකින් සිදුවුනු බවට මත පවතී. උදාහරණ ලෙස “මහාභාරතය” ක්‍රි.පූ 7 වන සියවස සිට ක්‍රි.ව 4 වන සියවස වැනි වසර 1100ක් පමණ පුරාවට පරිනාමය වෙමින් ආ බවට මත පවතී.

තුන්වනුව මතුවන සංකීර්ණතාවය වන්නේ මෙවැනි පරිකල්පිත සාහිත්‍යය දේශපාලනීකරණය වී අප දන්නා සමාජයේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතා සරල කොට බැහැර කිරීමයි. එමෙන්ම ඕනෑම පුරාවෘත්තයක මතුපිටින් සබඳතා ගොඩනංවා පෙන්විය හැකි සුළු යමක් තිබිය හැකි වුවත් ඒ තුල විද්‍යාත්මකව සනාථ කිරීමට අපහසු, විශ්වාසයක් හෝ ඇදහිල්ලකට එහා නොයන මහා රික්තකයක් ඇත. පුරාවෘත්ත දේශපාලනීකරණය විමේදී මේ රික්තක කලාපයට ඒ දේශපාලන මතවාදය ආනයනය කිරීම කල හැකි අතර, එයින් පසුව එම වෘත්තාන්තය දේශපාලන ව්‍යාපාරයක ගබඩා කාමරයේ ඉදිරි දොර ලෙස භාවිතයට ගනී.

පෙර-අපර දෙදිග වීර කතා සාහිත්‍යය තුලනාත්මකව

ලෝක ඉතිහාසයේ විවිධ සාහිත්‍යයන් හා සංස්කෘතීන් හැඩගැසීමේදී පෙර-අපර දෙදිග වීර කාව්‍ය (වීර කතා) සම්ප්‍රදායන්ගෙන් ලබා ඇති පන්නරය සලකා බැලිය යුත්තකි. විශේෂයෙන්ම තුලනාත්මක හැදෑරීමක් තුලදී යුරෝපා සාහිත්‍යයේ හැඩගැසීම තුල සම්භාව්‍ය ග්‍රීක හා රෝමානු සාහිත්‍යයේ බලපෑම නැවත නැවතත් මතුවන්නකි. උදාහරණයක් ලෙස නූතන ඉංග්‍රීසි සාහිත්‍යය ගතහොත් එහි සෑම කඩඉම් යුගයකම පාහේ බටහිර සම්භාව්‍ය සාහිත්‍යය සමඟ පොදුවේත්, එහි වීර කාව්‍ය සම්ප්‍රදාය සමඟින් විශේෂයෙනුත් අන්තර්-පඨිතතා (නැතිනම්, එකිනෙක හරහා යෑම්) හමුවේ. 17 වන සියවස මුල් කාර්තුවේ නාට්‍ය නිෂ්පාදනය කල විලියම් ෂේක්ස්පියර්ගේ ඇතැම් නිර්මාණ ගත්තත්, 17 සියවස අග සිට 18 සියවස මුල් භාගය හරහා පරිනතභාවයට පත්වන ඔගස්ටන් සම්ප්‍රදායේ සාහිත්‍යය සැලකුවත්, 19 සියවස මුල් කාර්තුවේ කාව්‍යකරණයේ යෙදුනු ජෝන් කීට්ස්ගේ ඇතැම් කවි සලකා බැලුවත්, ඊට සියවසකට පමණ පසුව බිහිවුනු යුරෝපා නව්‍යවාදී සාහිත්‍යය ගවේෂණයේදීත් මේ කාරණය නැවත නැවත ඉස්මතු වනු පෙනේ.

101555703_3068696853198051_5800585020963815424_o
හෝමර්ගේ “ඉලියඩ්” කෘතිය සහ ඒ ආශ්‍රයෙන් ගොඩනැගුනු “ට්‍රෝයි” චිත්‍රපටය


සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය තුල ග්‍රීක සම්ප්‍රදායේ මහා වීර කාව්‍ය දෙකක් ගැන හදාරනු ලබයි. “හෝමර්” යන සම්ප්‍රදායික නමින් අප සාමාන්‍යයෙන් හඳුන්වන අයෙකු විසින් නිර්මාණය කරන ලද බවට පිලිගැනෙන මේ කාව්‍ය ද්විත්වය නමින් “ඉලියඩ්” හා “ඔඩිසි” නම් වේ. මේවා ක්‍රි.පූ 8 වන සියවසේ ප්‍රබන්ධ කරන්නට ඇති බව සම්ප්‍රදායක පිලිගැනීම වුවත්, මේවා කාලයත් සමඟ පරිනාමය වෙමින් පැමිණි බවට සාධාරණ මතයක් ඇත. “ඉලියඩ්” හා ”ඔඩිසි” මුල්ම අවස්ථාවේදී වාචිකව පවත්වාගෙන ආ සාහිත්‍ය සම්ප්‍රදායකට අයත්ය. ඒවා ලේඛණගත කෙරෙන්නට ඇත්තේ පසුකලෙක බව පිලිගැනීමයි. මේ අලිඛිත ඉතිහාසය හා පරිනාම ප්‍රවණතාවය නිසා මෙම වීර කාව්‍යවල අන්තර්ගතය, ඒවාට අදාල කතා වස්තූන්, මෙන්ම ආඛ්‍යාන රීති ආදියද සාමූහික ජන විඥානයක් තුල පහසුවෙන් ප්‍රචාරණය හා ප්‍රසාරණය වෙමින් කලක් මුලුල්ලේ පවතින්නට ඇත. එමෙන්ම, වෙලඳ කණ්ඩායම් හා දේශගවේෂක සංචාරකයින් අතින් දේශ හා සංස්කෘතික සීමා අතික්‍රමණය කරමින් මේ කතා වස්තූන් ප්‍රදේශ ගණනාවක් හරහා විසරණය වන්නට ඇත. මේ හේතුව නිසාම මෙම මහා කාව්‍යවල ප්‍රාදේශීය සංස්කරණයන් මෙන්ම විවිධ සංස්කෘතීන්ට අනුකූල වුනු රචනයන්ද පවතී. මෙම නව සංස්කෘතීන් අතරට කාන්දු වීමත්, වෙනත් එවැනි සංස්කෘතීන්ගෙන් අවශෝෂණය කරගැනීමත් වඩාත් හොඳින් ඉස්මතුවන අවස්ථාවක් වන්නේ වාල්මිකීගේ රාමායණය තුල වන අතර එය ගැන පසුවට සඳහන් කරන්නෙමු.

ග්‍රීක සම්ප්‍රදායේ හමුවන තවත් වඩා පසු කාලිනව රචනය වුනු මහා කාව්‍යයක් වන්නේ ක්‍රි.පූ 3වන සියවසේ ලියන්නට ඇතැයි සැලකෙන රෝඩ්ස් හි ඇපොලෝනියස් ප්‍රබන්ධ කල “ආර්ගොනොටිකා” (හෙවත්, “වොයේජ් ඔෆ් ද ආර්ගෝ”) කෘතියය. “ඉලියඩ්” හා “ඔඩිසි” මෙන් නොවන එහි මුල් ප්‍රකාශනයම ලිඛිත එකකි. “ඉලියඩ්” කාව්‍යයට වස්තු විෂය වන්නේ ග්‍රීක පුරවෘත්ත හා ජනශ්‍රැති සාහිත්‍යයේ කේන්ද්‍රීය ස්ථානයක් හිමිකරගෙන ඇති ට්‍රෝජන් යුද්ධයයි. “රාමායණයේ” ලංකා සටන හා “මහාභාරතයේ” කුරුක්ෂේත්‍ර සටන වැනිම වූ ප්‍රාග්-ඓතිහාසික සමයක පිහිටන මෙහිදී ග්‍රීක රාජ්‍යයන්ගේ එක්සත් හමුදාවක් විසින් බටහිර (සුළු) ආසියාවේ පිහිටි බවට පුරාවෘත්තවල සඳහන් ට්‍රෝයි දේශය වටලා එයට පහර දීමක් සිදුකරයි. මෙම ආක්‍රමණයට හේතුව ලෙස පුරාවෘත්තවල සඳහන් වන්නේ – “රාමායණයේ” ආකාරයටම – ප්‍රාග්-ඓතිහාසික ග්‍රීසියේ ස්පාර්ටාවේ මෙනොලෝස් රජගේ මෙහෙසිය වූ හෙලන් කුමරියව ට්‍රෝයි නුවරින් එහි පැමිණි පැරිස් කුමාරයා විසින් “පැහැරගෙන” යාමයි (මෙය පැහැරගෙන යාමක්ද, කැමැත්තෙන් යාමක් ද කියා අදටත් විද්වත් විවාද පවතින අතර, පුරාවෘත්තයේ විවිධ වෙළුම් අතරද පරස්පරතා පවතී). මෙම “පලායාම” මෙනොලොස්ට තම කීර්තිනාමය හා සම්බන්ධ ගැටළුවක් වන අතර ග්‍රීසියේ වඩාත් රණකාමී රජතුමා ලෙසට පුරාවෘත්තයේ එන ඇගමෙම්නොන්ට මෙය ට්‍රෝයි නුවරට පහරදී අල්ලා ගැනීමට හොඳ නිමිත්තක් සැපයූ සිද්ධියකි.

විවිධ ග්‍රීක රාජ්‍ය රැසක සහය ඇතිව දියත් වන නැව් සේනාංකය ට්‍රෝයි නුවර වටලයි. ශක්තිමත් කොටු බැම්මකින් වටකර ඇති ට්‍රෝයි නුවර ප්‍රසිද්ධියට පත්වී තිබුනේ “යටත්කරගත නොහැකි” නගරයක් ලෙසයි. ග්‍රීක හමුදාව වසර දහයක් කඳවුරු බැඳ සිටියි. “ඉලියඩ්” කාව්‍යය ආරම්භවන්නේ මේ දසවැනි වර්ෂයේදී, සටන් විරාමයක් අතරතුරදීයි. ට්‍රෝයි නුවර වෙරළ තිරයේ පවතින නිද්‍රාශීලී තත්වය දෙස ඔලිම්පස් කඳු මුදුනේ සිට බලා සිටින දෙවිවරුන් තීරණය කරන්නේ මේ අලස, අතීරණාත්මක තත්වය පැවතුනා කල් වැඩි බවයි. “දේව-මැදිහත්වීමකින්” එක් පිලකින් අනෙක් පිලට නිකුත්වන ඊතලයකින් සටන තීරණාත්මක ලෙස යලි ඇවිලේ.

මෙසේ ආරම්භවන “ඉලියඩ්” මහා කාව්‍යයේ අප අද භාවිත කරන මුද්‍රණය පරිච්ඡේද (හෝ ඛණ්ඩ) 24 කින් යුතු කෘතියකි. එය අවසාන වන්නේ ට්‍රෝජන් හමුදාවේ මහා යුධවිරුවා වන හෙක්ටර් කුමාරයාගේ මරණයෙනි. ට්‍රොජන් යුද්ධයෙන් පසු අවස්ථාවක් පාදක කරගනිමින් රචනය වන “ඔඩිසි” මහා කාව්‍යය යුද්ධයට සහභාගී වී, එය ජයගැනීමට උරදුන් ග්‍රීසියේ ඉතාකා රාජ්‍යයේ ඔඩිසියස් (යුලිසිස්) ගේ සියරට බලායෑමේ වික්‍රමය විග්‍රහ කරයි. ට්‍රෝයි නුවර මහා කොටුබැම්ම පරයමින් නගරය තුලට ඇතුලු වී එය යටත් කරගෙන විනාශ කිරීමට යොදාගත් “ට්‍රෝජන් අශ්වයා”ගේ ප්‍රයෝගය ඔඩිසියස්ගේ උපක්‍රමයකි. තම පීතෘභූමිය බලා ගමන් ගන්නා ඔඩිසියස් විවිධ අනතුරු හා ආන්තරා වලට මුහුණ දෙයි. ඔහුට නැවත තම ගම්බිම් බලා ලගාවීමට වසර දහයක්ම ගතවේ. ඔහුගේ නැව කුනාටුවලට හසුවේ. විවිධ දූපත්වල වෙසෙන සුන්දර ගැහැණුන් නිසාද ගමන ප්‍රමාද වේ. නැවත තම රාජධානිය වෙත ලඟාවීමේදී තම සිහසුනත් ඔහුගේ රැජිණ පෙනෙ‍ලාපීවත් අත්පත්කරගැනීමට තරඟ කරන එකසිය නවදෙනෙකු පරාජයට පත්කිරීමටද ඔඩිසියස්ට සිදුවේ.

රෝඩ්ස් හි ඇපොලොනියස්ගේ “ආර්ගොනොටිකා” ද වික්‍රමාන්විත ගවේෂණයක් මත කේන්ද්‍රවන කාව්‍යයකි. තමාට පැවරෙන වීර අභියෝගයක් ජයගන්නට ජේසන් නැමැති එම කාව්‍යයේ මහා වීරයා තම පිරිසත් සමඟ යෙදෙන සමූද්‍ර තරණයක් හරහා කතාව ගොඩනැගේ. ත්‍රාසජනක අවස්ථා, මායාභූත හමුවීම්, අනාගත වාක්‍ය, දේව මැදිහත්වීම් ආදී “ඉලියඩ්” හා “ඔඩිසි” තුල විශේෂයෙනුත්, මහා කාව්‍ය සාහිත්‍යයේ පොදුවේත් ඇති ආඛ්‍යාන හා කතා රීති මෙහිදීද දක්නට ඇත. ජේසන්ට තම අභියෝගය ජයගන්නට උපකාර කරන්නේ ග්‍රීක ලෝකයෙන් බාහිර කොල්කිස් (වර්තමාන ජෝර්ජියාවේ බවට සැලකෙන) හි “මායාකාර” මිඩෙයාය. ග්‍රීක පුරාවෘත්තයට හා සාහිත්‍යයට අනුව මිඩෙයා ජේසන් සමඟ නැවත ග්‍රීක ලෝකය බලා පැමිණේ. මිඩෙයා වෘත්තාන්තය ද විවිධාකාරයෙන් ග්‍රීක සාහිත්‍ය තුල ස්ථානගත වන අතර ඉන් වඩා ප්‍රසිද්ධ අවස්ථාවක් වන්නේ යුරිපිඩිස්ගේ “මිඩෙයා” නාට්‍යයයි.

100753093_3072345192833217_8172305999500148736_o
තම පියාගේ ආත්මය මුනගැසෙනු වස් මළවුන්ගේ ලෝකයට පිවිසෙන “ඉනීඩ්” හි ඉනියාස්.

එහි අනෙකුත් කලා, ගෘහ නිර්මාණ හා සංස්කෘතික දායාදයන් ප්‍රකට කරන අයුරින්ම රෝමයේ සාහිත්‍යය තුලත් ග්‍රීක සම්ප්‍රදායේ ලක්ෂණ තදින් පිහිටා තිබේ. රෝම සම්ප්‍රදායේ මහා කාව්‍ය අතර වර්ජිල්ගේ “ඉනීඩ්” (ක්‍රි.පූ 29-19) හා ඔවීඩ්ගේ “මෙටමෝර්ෆසීස්” තුලනාත්මක සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය තුල වැදගත් තැනක් හිමිකරගනී. මෙහිදී “ඉනීඩ්” තම ක්ෂේත්‍රය බවට පත්කරගන්නේ රෝමයේ පුරාවෘත්තමය ආදි මුතුන්මිත්තා වන (ඇතැම් අය ඇනියාස් කියා හඳුන්වන) ඉනියාස් ප්‍රමුඛ පිරිස “හිස්පෙරියා” නොහොත් “බටහිර භූමිය” සොයා යන ගමනයි. ඔවුන්ගේ ගමන ආරම්භවන්නේ ග්‍රීකයින් විසින් ගිනිතබා විනාශ කල ට්‍රෝයි නුවර සිටයි. ට්‍රෝජන් නුවරින් දිවි ගලවාගත් 700ක් දෙනා සමග රහසිගතව සඟවා තැබූ නැව් සේනාංකයක නැගී පිටත්වන ඉනියාස් බාධක රැසක් අභිබවමින් තම ගමනාන්තය සොයා ගමන් කරයි. “ඉලියඩ්” මෙන්ම මෙම කාව්‍යයද ආරම්භ වන්නේ වීර කාව්‍ය සම්ප්‍රදායට අනන්‍ය රීතියක් වන කතාවේ අවසානයට ආසන්න අවස්ථාවකිනි (“medias res”). මෙසේ අවසානයට ආසන්න තැනකින් ආරම්භවන කතාව බොහෝ විට ප්‍රතිආවර්ජනයක් වැනි ක්‍රමෝපායක් හරහා කතාවේ මුල් අවස්ථාවන් ග්‍රහණය කරගෙන නැවත ඉදිරියට විකාශය වේ. සාමාන්‍ය මතය වන්නේ “ඉනීඩ්” ප්‍රබන්ධ කර අවසන් කිරීමට පෙර වර්ජිල් මිය ගිය බවත්, ඔහුගේ අවසන් කැමැත්තට පිටින් යන රෝමයේ ඔගස්ටස් අධිරාජ්‍යයා මෙම කෘතිය ප්‍රකාශයට පත්කල බවත් ය.

“ඉලියඩ්” සිට “ඉනීඩ්” දක්වා වන අපරදිග වීර කාව්‍යාවලියට සමාන්තරව බිහිවුනු පෙරදිග වීර කාව්‍ය සම්ප්‍රදාය වාල්මිකීගේ “රාමායණය” සහ ව්‍යාසගේ “මහාභාරතය” යන කේන්ද්‍ර දෙකෙන් යුක්තය. ක්‍රි.පූ 7-4 සියවස් අතර ලියවුනු බවට (එහි අවසන් කොටස් ක්‍රි.ව 4 වන සියවසේදී පමණ ලියවෙන්නට ඇතැයි ද ඇතැම් අය සලකන) “රාමායණයේ” සම්ප්‍රදායානුකූල කතෘත්වය පැවරෙන්නේ වාල්මිකී නම් පඬිවරයාටය. පද්‍ය 24,000 කින් පමණ යුතු “රාමායණය” හා සමපාතවන පද්‍ය 200,000කින් පමණ යුක්ත “මහාභාරතය” ක්‍රි.පූ 3 හා ක්‍රි.ව 3 සියවස් අතර ලියවෙන්නට ඇතැයි අනුමාන කෙරෙයි.

අපරදිග ලෝකයේ “ඉලියඩ්” හා “ඔඩිසි” කාව්‍යයන් ජන ජීවිතයට, සංස්කෘතියට, සාහිත්‍යයට බලපෑ ආකාරයටමත්, ඒවා වෙලඳාම, යුද්ධය, සංක්‍රමණය හා දේශගවේෂණය අතින් ප්‍රාදේශීය වශයෙන් හා කලාපීය වශයෙන් සංසරණය වුනු ආකාරයටමත් “මහාභාරතය” හා “රාමායණයද” දකුණු, නැගෙනහිර හා අග්නිදිග ආසියා කලාප තුල විසරණය විය. ප්‍රාදේශීය වශයෙන් මේවාහි ප්‍රභේද ඇතිවුනු අතර හින්දු හා බෞද්ධ සංස්කෘතික බලපෑමද මෙයට හේතුවන්නට ඇත. උදාහරණයක් ලෙසට 12 වන සියවසේ පමණ රචනා වන්නට ඇතැයි සිතන “රාමාවතාරම්” හෙවත් “කම්බා රාමායනය” වාල්මිකීගේ රාමායණය දෙමළ භාෂාවට නැගීමට ගත් උත්සාහයකි. ඇතැම් අග්නිදිග ආසියාතික කලාපීය රටවල රාම බෝධිසත්ව ස්වරූපයෙන් සැලකීම නිසා “රාමායණය” ඒ පරිකල්පනයට පහසුවෙන් ඇතුලු වන්නට ඇත.

“මහාභාරතය” හා “රාමායණය” යන කාව්‍ය ද්විත්වයම පෞරාණික හින්දු ඉගැන්වීම් ව්‍යංගයෙන් සමාජගත කරන්නටත් ඒවා පවත්වාගෙන යාමටත් පබැදුනු බව එක් මට්ටමකදී පැහැදිලි වේ. මෙම මහා කාව්‍ය ද්වන්ධය පොදු වශයෙන් පීතෘ භූමිකාව, සහෝදර සබඳතා, විවාහය හා ගෘහස්ථ ජීවිතය, දේශපාලනය, පාලිතභාවය, රාජත්වය, දෙවියන් ‍කෙරෙහි වන භක්තිය ආදී සංස්කෘතික අංශ පිලිබඳව පරමාදර්ශ සපයන අඛ්‍යානයන් ලෙස සැලකිය හැක. “රාමායණයේ” එන රාම, සීතා, භරත, ලක්ෂ්මණ, රාවණ හා හනුමන් ඒ ආකාරයෙන් ඉන්දීය උප මහද්වීපයේත් අග්නිදිග ආසියා කලාපයේ වියට්නාමයේ සිට තායිලන්තය හා ඉන්දුනීසියාව දක්වාත් ඒ ශිෂ්ටාචාරවල ජනවිඥානයට ඇතුලු වී ඒවා තුල වෙනම අනන්‍යතා ගොඩනගාගත්හ.

පොදු තේමා හා ලක්ෂණ

වෙනත් ලක්ෂණද ඇතුලත්ව පහතින් සඳහන් කර ඇති විශේෂ සාධක බටහිර හා පෙරදිග වීර කාව්‍යයන් තුල පොදු රීතීන් ලෙස භාවිත වේ.

1) රජවරුන් හා මහා වීරයන් ආශ්‍රිතව කතා හා තේමා
2) මනුෂ්‍ය ලෝකය හා මැදිහත්වන දෙවිවරුන් (Divine intervention)
3) පරමාදර්ශී චරිත
4) මහා කාව්‍යවලට අනන්‍ය අතිශයෝක්තිය (Epic exaggeration)
5) වීරත්වය තීව්‍ර කරන උපමා රූපක
6) අනාගත වැකි / දේව වැකි
7) වෙනත් සමාන්තර ප්‍රබන්ධ හා ප්‍රවාද සමඟ ඇති සංකලනය

කුමන සම්ප්‍රදායට අයත් වුවත් වීර කාව්‍යවල ප්‍රධාන චරිත ලෙස මෙහෙයවෙන්නේ රජවරුන් හා ප්‍රභූ පැලැන්තියේ අයයි. දුප්පත් සිඟා ජීවත් වන පීඩිත මිනිසෙකු ගැන අද දක්වා වීර කාව්‍යයක් ලියවී නැත. රනින් සැරසූ මහා මන්දිර, සමෘද්ධිය හා සාරවත් බව, මහා සටන් හා මහා යුද්ධ, හැතැප්ම ගණන් ඈතට ඊතල විදින දුනු, කැපුම් පහර හා හී තුවාල දරාගෙන සටනේ යෙදෙන වීරයන්, විවිධ තරාතිරමේ දෙවිවරුන් හා කෙරෙන මුනගැසීම්, අනර්ඝතම මට්ටමේ භෝජන සංග්‍රහ ආදිය නැවත නැවත දැකිය හැකි සාමාන්‍ය අවස්ථාවන්ය.

Draupadi Vastraharan
ද්‍රෞපදීගේ වස්ත්‍රාහරණය අවස්ථාව – “දේව මැදිහත්වීමට” යෝග්‍ය උදාහරණයක් ලෙස.

හස්තිනාපුර උරුමය වෙනුවෙන් කෞරව හා පාණ්ඩව ඥාති සොයුරන් අතර ඇතිවුනු යුද්ධය හෙවත් කුරුක්ෂේත්‍ර යුද්ධය “මහාභාරතයේ” උච්චතම අවස්ථාවක් ලෙස සැලකිය හැක. “මහාභාරතය” ඇසුරින් නිමවුනු ටෙලි නාට්‍යයක් 90 දශකයේ මුල් කාලයේ ලංකාවේද විකාශනය වුනු නිසා මෙය ශ්‍රී ලාංකිකයන්ට සමීප කතා පුවතක් බව සිතේ. පාණ්ඩව කුමාරවරුන්ගේ දක්ෂතම දුනුවායා වුනු අර්ජුන් හා ඔහුගේ රථචාර්ය ක්‍රිෂ්ණ අතර ඇතිවුනු දෙබස ආශ්‍රිතව හින්දු සම්ප්‍රදායේ වැදගත්ම කෘතියක් වන “භගවත් ගීතාව” සම්පාදනය වී හින්දු සංස්කෘතියට එකතු විය. තම ලේ ඥාතීන් සමඟ සටන් කිරීමට සිදුවීමේ ආත්මීය උභතෝකෝටිකයට මුහුණ දෙන අර්ජුන්ට ක්‍රිෂ්ණ ලබාදෙන මාර්ගෝපදේශය ඇසුරින් මෙය රචනා වී ඇත. ඉහත පොදු ලක්ෂණ අතරින් අවසානයට සඳහන් කල සමාන්තර ආධ්‍යාත්මික හා සාහිත්‍ය ලෝකය සමඟ මහා කවි සංකලනය වුනු ආකාරය තේරුම් ගැනීමට “භගවත් ගීතාව” නිදර්ශනයක් සපයයි. මෙවැනිම වෙනත් අවස්ථා ජනශ්‍රැතිය මෙන්ම පුරාන කවි සම්ප්‍රදායේ සාහිත්‍ය තුලද දැකිය හැක.

මනුෂ්‍ය කටයුතුවලට දෙවියන් මැදිහත් වීම, මනුෂ්‍ය ක්‍රියාකාරකම් දේව භක්තිය හා කැමැත්තේ පිලිබිඹුවක් වීම, ඔලිම්පස් වැනි දේව සභාවක ගන්නා තීරණ අනුව මනුෂ්‍ය දෛවය හැසිරවීම ආදී භූතාත්මක තලයන් වීර කාව්‍යවල අනන්‍යතාවයේ කොටසකි. “ඉනීඩ්” කාව්‍යයේ ට්‍රෝයි නුවර යුද්ධයෙන් විනාශ වීම එම නුවරට අධිපති දෙවියා වුනු නෙප්චූන්ද ඇතුලු ප්‍රභූ තලයේ දෙවිවරුන් කිහිප දෙනෙකුගේම අනුමතය හා එකඟතාවය මත සිදුවුනු එකකි. ගිනිගෙන විනාශ වුනු ට්‍රෝයි නගරයෙන් පලායන සරණාගත කණ්ඩායමට නායකත්වය දෙන ඉනියාස්ගේ බිරිඳ වන ක්‍රෙවුසා පලායන කණ්ඩායමෙන් වෙන්කර ඇගේ මරණය වෙත යොමුකරවන්නේද දේව මැදිහත්වීමෙනි. (මීට හේතුව වන්නේ අනාගතයේ ලතින් දේශයේ බිහිකරන නව රාජ්‍යයක ඉනියාස් හා අතිනත ගැනීමට රැජිණක් දේව කැමැත්ත අනුව ඒ වනවිටත් තෝරා සිටින නිසාය).

1
“රාමායණය” ඉන්දුනීසියාවේ වේදිකාවට නැගූ අවස්ථාවක් 

දේව අතපෙවීම් සම්බන්ධ ස්මරණීය අවස්ථාවක් “මහාභාරතයේ” දාදුකෙලියේ යෙදෙන පාණ්ඩව කුමාරවරුන්ගේ දේපල හා වස්තුව කෞරවයන් හට පරාජය වන අවස්ථාවේදී සිදුවේ. අවසානයේදී තම රැජින වන ද්‍රෞපදීවද ඔට්ටු තබා අහිමිකරගන්නා පාණ්ඩවයන් ඉදිරිපිටදීම ද්‍රෞපදීගේ ඇඳි වස්ත්‍රය උනාදැමීමෙන් ඇයව නිර්වස්ත්‍ර කිරීමට කෞරවයන් සැරසේ. මේ අවස්ථාවේදී ද්‍රෞපදී තම දුක්ගැන්විල්ල ඉදිරිපත් කරමින් ක්‍රිෂ්ණට කන්නලව් කර සිටී. එම කන්නලව්වට කන් දෙන ක්‍රිෂ්ණ මැදිහත්වීම නිසා හාස්කමකින් ද්‍රෞපදීගේ වස්ත්‍රය ගලවන ප්‍රමාණයටම දිගුවී ඇගේ ශරීරය ආවරණය කරයි. අවසානයේදී එය ගලවන්නට අණ ලැබූ දුශාසන් කුමාරයා වෙහෙස වී ඇද වැටේ. මෙවැනි තීරණාත්මක අවස්ථා රැසකදී දේව මැදිහත්වීම දක්නට ලැබීම සාමාන්‍ය මහා කාව්‍ය ලක්ෂණයකි. “ඉලියඩ්” කෘතියේ යුධ පෙරමුණ දර්ශනයකදී (එම කාව්‍යයේ සුළු චරිතයක් වන) ඉනියාස් අමනෝඥ ලෙස ග්‍රීකයින්ගේ මහා වීරයා වන ඇකිලිස්ට අභියෝග කර සිටි මොහොතේ ඉනියාස් හා සටන් වැදී ඔහු පරාජය කර ඔහුව මරා දැමීමට ඇකිලිස් ලෑස්ති වෙයි. මෙවිට පොසයිඩන් (නෙප්වූන්) සුළං කුණාටුවක් මවා ඉනියාස්ව බේරාගනීයි. අනාගත රෝමයේ මුතුන්මිත්තා වන්නේ මේ ඉනියාස් ය.

වීර කාව්‍යවල වීරයන් පොදුවේ පරමාදර්ශී චරිත ලෙස ගොඩනංවා ඇත. දේව භක්තිය ඇතුළු මහා පුරුෂාර්ථ ඔවුන්ගේ ජීවිත හසුරුවයි. තමා ලතින් දේශය බලා යන ගමන අතරතුර උතුරු අප්‍රිකාවේ කාර්තේජයේ ඩයිඩෝ කුමරිය සමඟ ගෘහස්ථ සම්බන්ධයක් ඇතිකරගෙන සිටින ඉනියාස් ඇයව අතහැර නැවත නැව් නගින්නේ දේව පණ්වුඩයකට ගරු කරමිනි. නින්දේ දී සිහිනෙකින් ඔහු වෙත එන තම පියාගේ ආත්මයට වුනු පොරොන්දුවක් ඉටු කිරීමට ඉනියාස් ඉතා දුෂ්කර හා අභියෝගාත්මක ගමනක් වුනු මළවුන්ගේ ලෝකය බලාද පිටත්වෙයි.

මේ අතර දේව වාක්‍ය හා අනාගත වැකි ද ප්‍රධාන වීර කාව්‍ය තේමාවකි. සම්ප්‍රදායක වක්තෘ වරුන් මෙන්ම, වෙස්වලා පැමිණෙන දෙවිවරුන් හා සිහිනෙන් පෙනී සිටින මළගියවුන් මාර්ගයෙන් අනාගතයේ සිදුවීමට නියමිත දේ ගැන විවරණයන් මේ වීරවරයන් ලබාගනී. ඉතා වැදගත් අනාගත වැකි කිහිපයක්ම අඩංගු “ඉනීඩ්” කෘතියේ නිර්මාණ ගුණයෙන් ඉහලම අවස්ථාවක් වන්නේ ඉනියාස් වීරයා මළවුන්ගේ ලෝකයට පිවිස තම පියාගේ ආත්මය මුනගැසෙන අවස්ථාවයි. ලතින් දේශය සොයා යන ගමනේ බාධක හමුවේ හෙම්බත්වී සිටින ඉනියාස්ව යලි උපදින්නට වරම් හිමිකරගත් වුන් සිටින නිම්නයකට කැඳවා යන පිය ආත්මය එහි සිටින ඇතැම් ආත්ම පෙන්වා පවසා සිටින්නේ ඒ අනාගතයේ බිහිවන රෝමයේ උපදින්නට නියමිත අය බවයි. රෝම ඉතිහාසයේ ගාම්භීරබවද මතුකරමින් ලියවෙන “ඉනීඩ්” කෘතියේ ඉතා සාර්ථකම කාණ්ඩයක් ලෙස මම මෙම කොටස සලකන්නෙමි.

මෙවැනි අවස්ථා තීව්‍රව ඉදිරිපත් කිරීමට මහා කාව්‍ය රචකයා නිතරම අතිශයෝක්තිය, වීරත්වය ඔප මට්ටම් කරන උපමා රූපක, අලංකාරක, වර්ණනා ආදිය සම්ප්‍රදායිකව යොදාගනී. සාමාන්‍ය උපමා රූපක වලින් වෙනස් වන මේවා උපමාවක් ලෙස ගලපන අවස්ථාවක් දීර්ඝ ලෙස විස්තර කරමින් වෙනම කතා අවස්ථාවක් දක්වා ඒ හරහා ප්‍රවේශය ලබාගන්නා අවස්ථා මෙම සාහිත්‍යය තුල සුලභව දැකිය හැක. අතිශයෝක්ති වර්ණනා හා අලංකාරක පසුකලෙක වෙනත් සාහිත්‍ය ප්‍රභේද තුලටද අවශෝෂණය වී ඒවා පෝෂණය කර ඇතිබව තුලනාත්මක අධ්‍යයන හරහා හඳුනාගත හැක. පහසු උදාහරණයක් ලෙස සංස්කෘත සම්ප්‍රදායෙන් පෝෂණය වී ඇති සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ කෝට්ටේ යුගය දක්වාම ඇතැම් නිර්මාණ තුල මෙම ලක්ෂණ හඳුනාගත හැක.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s