රාවණා ඉන්දුනීසියාවේ ද ජීවත් විය: වීර කාව්‍ය සම්ප්‍රදාය සම්බන්ධ තුලනාත්මක ආරම්භක සටහනක්.

මහා කාව්‍ය පරිකල්පනය සහ අපි

වීර කාව්‍යයක් ඔස්සේ තමන්ගේ පරිකල්පිත අතීතය සොයන්නට යාම අලුත් දෙයක් නොවනවා සේම පරිකල්පිත අතීතය වීර කාව්‍ය ඇතුලේ හමුවීමේ තත්වයට ද සම්භාව්‍ය උපහැරණ ඇත. මීට හොඳම නිදසුන සපයන්නේ රෝම අධිරාජ්‍යයේ මහා කවියා වූ වර්ජිල්ගේ “ඉනීඩ්” ( ක්‍රිපූ 29-19) කෘතියයි. රෝම අධිරාජ්‍යයේ තුන් කාලීන ශ්‍රේෂ්ඨත්වය, ඔගස්ටස් අධිරාජ්‍යයාගේ හා ඒ පරපුරේ මහේශාක්‍ය බව ආදී වර්ජිල්ගේ සමකාලීන රෝමය තුල දේශපාලන වශයෙන් වැදගත් විය හැකි කරුණුද සම්භාව්‍ය වීර කාව්‍ය සම්ප්‍රදායේ හමුවන අනාගත වැකියක මුවාවෙන් ආඛ්‍යානගත කරන වර්ජිල්ගේ කෘතිය ඉතා තදින් රාජපාක්ෂිකවූත්, අධිරාජ්‍යගැති වූත් ලියවිල්ලකි.

රාවණ චරිතය ආශ්‍රිත පරිකල්පනය ලංකාවේ බිම් මට්ටමේ දේශපාලනය තුලට පිවිසෙන්නේ පශ්චාත්-යුධ යථාර්තයක් ලෙසිනි. රාවණ යන නම යෙදූ බලකායන්, ඒවා හා අනන්‍ය වන දේශපාලන පැවිද්දන්, එම බලමුලු වලින් සවිබලගැන්වෙන ග්‍රාමීය හා අර්ධ නාගරික ජන සමූහයන්ද, ඒවාට ආවරණය සපයන ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ මෙන්ම ජන මාධ්‍යද පසුගිය වසර අටක පමණ කාලය තුල අපි අත්දැක ඇත්තෙමු. මේ බලකාවල බැනර්වල සදහන් රාවණ ඇත්තටම වාල්මිකී නම් භාරත පඬිවරයා වෙත කතෘත්වය පැවරෙන “රාමායණයේ” රාවණට වඩා දේශපාලන ව්‍යාපාරයක් විසින් ලංකාවේ ජනවහරින් උකහාගත් ඇතැම් දෙයකට නව මතවාදයක් කවා පෝෂණය කර මතුකරගන්නට තැත්කරන රාවණ කෙනෙකුගෙන් ජීවය ලත් බව සිතේ.

91Davnm1B4L
මහාභාරතයේ පෙන්ග්වීන් ප්‍රකාශනය

කොටස් නොහොත් ඛණ්ඩ පහකින් (ඇතැම් අය මෙය හයක්ය, හතක්ය යැයි පවසයි) යුතු වාල්මිකී ගේ “රාමායණය” තුල රාවණ චරිතය ප්‍රධාන තැනක් ගන්නේ ආරණ්‍ය ඛණ්ඩයේ සහ ලංකා ඛණ්ඩයේය. සීතා පැහැරගෙන ලංකා රාජ්‍යයට (මෙය ශ්‍රී ලංකාවමදැයි යන්නත් විද්වතුන් අතර විවාදිත කරුණකි) ගෙන එන්නේ සහ ඇයව බේරාගෙන රාවණ මරා දැමෙන්නේ පිලිවෙලින් මෙම ඛණ්ඩ දෙකෙහිදිය. රාවණ මරා දමන රාම, ලංකා රාජ්‍යය තුල විභීෂණ නම් තම සොයුරා සිහසුනට පත්කරයි. “රාමායණය” ඉතාම සංකීර්ණ සංස්කෘතික ප්‍රපංචයකි. සම්භාව්‍ය බටහිර සාහිත්‍යයේ එන ග්‍රීක මහා කවි ද්විත්වය වන හෝමර්ගේ “ඉලියඩ්” හා “ඔඩිසි” තරම්ම මෙය සංකීර්ණ වන හේතු කිහිපයකි. එහි පලමුවැන්න වන්නේ මේ මහා කාව්‍ය රචනයට මූලික වන පරිකල්පනය, ඒ ඒ සමාජයන්ගේ දේශපාලන හා සංස්කෘතික මතවාදයන් අපගේ තත්කාලීන නිර්වචන හා මතවාදීමය රාමූන් හා ගලපාගැනීමේ තිබෙන දුෂ්කරතාවයයි. එයට හොඳම උදාහරණය සපයන්නේ පුරාතන භාරතය යන භූමියේ දිග පළල පවා නිශ්චය කරගැනීමට හා එය එදා තිබෙන්නට ඇති ආකාරය ගැන චිත්‍රණය කරගැනීමට අපට ඇති අපොහොසත් බාවයයි. පකිස්ථානය, ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකාව භාරතයේ කොටසක්ද? නොවේද?) වැනි ජාතික රාජ්‍ය සංකල්පයෙන් අධිනිශ්චය වුනු සංස්කෘතික සාක්ෂරතාවයකින් මේ වෙනත් ඥාන පදනමක පිහිටන මහා කවියක එන සංකේතාත්මක චරිත ඔස්සේ තම භූ-දේශපාලන ඒකකයේ ආරම්භය සෙවීම කල නොහැක්කකි.

“මහා භාරතය” හෝ “රාමායණය” රචනය වන පරිකල්පනය අපෙන් දුරස්ථවන ආකාරයටම මේ කාව්‍යයන් රචනය වන අරමුණු ද අපෙන් ඈත්ව පිහිටි ඒවා වේ. අප අතට මේවා අද පත්වී ඇත්තේ ප්‍රධාන වශයෙන් පොසිල බවට පත්වුනු සංස්කෘතික මෙවලම් ලෙස විනා පවතින හා හුස්ම ගන්නා සාහිත්‍යයක් ලෙස නොවේ. නමුත් මෙම මහා කාව්‍ය රචනය වූයේත් හා ඒවායේ විකාශනය සිදුවූයේත් එදාට වලංගු වුනු තත්කාලීන දේශපාලන, සමාජ හා සංස්කෘතික ධාරාවන් හරහායි. වර්ජිල්ගේ මා මුලින් සඳහන් කල තත්වය ඊට උදාහරණ සපයයි. වර්ජිල්ගෙන් වෙනස් වන හෝමර්, වාල්මිකී හා ව්‍යාස (මහාභාරතයේ සම්ප්‍රදායක කතෘ) ලෙස අප හඳුන්වන අයගේ කෘතිවල ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ මේවා ප්‍රාදේශීයමූලීකව හා ජනමූලීකව දියුණුවුනු අලිඛිත සම්ප්‍රදායක් ද, එකිනෙකින් වෙනස්වන ද්විතියික සාහිත්‍යයකටද ජීවය සපයා ඇති වීමයි. “රාමායණය” පමණක් ඉන්දියානු භාෂා රැසකින් ලියවී ඇති අතර, එය අග්නිදිග ආසියාතික කලාපයේ රටවලටද පැතිරී එම ප්‍රදේශවල ජන සාහිත්‍යය පෝෂණය කරමින්ද, ඒ ඒ සංස්කෘතිකාංග උකහා ගනිමින් එම සංස්කෘතීන්වල පරිකල්පනයට එක්කරමින්ද වර්ධනය වූවකි. අනෙක් අතට මේ ඇතැම් කාව්‍යවල ඇතැම් ඛණ්ඩ පසුකාලීන එකතූන් වන අතර කතෘත්වය පවා සාමූහික හා සමාජයීය බලපෑමකින් සිදුවුනු බවට මත පවතී. උදාහරණ ලෙස “මහාභාරතය” ක්‍රි.පූ 7 වන සියවස සිට ක්‍රි.ව 4 වන සියවස වැනි වසර 1100ක් පමණ පුරාවට පරිනාමය වෙමින් ආ බවට මත පවතී.

තුන්වනුව මතුවන සංකීර්ණතාවය වන්නේ මෙවැනි පරිකල්පිත සාහිත්‍යය දේශපාලනීකරණය වී අප දන්නා සමාජයේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික සබඳතා සරල කොට බැහැර කිරීමයි. එමෙන්ම ඕනෑම පුරාවෘත්තයක මතුපිටින් සබඳතා ගොඩනංවා පෙන්විය හැකි සුළු යමක් තිබිය හැකි වුවත් ඒ තුල විද්‍යාත්මකව සනාථ කිරීමට අපහසු, විශ්වාසයක් හෝ ඇදහිල්ලකට එහා නොයන මහා රික්තකයක් ඇත. පුරාවෘත්ත දේශපාලනීකරණය විමේදී මේ රික්තක කලාපයට ඒ දේශපාලන මතවාදය ආනයනය කිරීම කල හැකි අතර, එයින් පසුව එම වෘත්තාන්තය දේශපාලන ව්‍යාපාරයක ගබඩා කාමරයේ ඉදිරි දොර ලෙස භාවිතයට ගනී.

පෙර-අපර දෙදිග වීර කතා සාහිත්‍යය තුලනාත්මකව

ලෝක ඉතිහාසයේ විවිධ සාහිත්‍යයන් හා සංස්කෘතීන් හැඩගැසීමේදී පෙර-අපර දෙදිග වීර කාව්‍ය (වීර කතා) සම්ප්‍රදායන්ගෙන් ලබා ඇති පන්නරය සලකා බැලිය යුත්තකි. විශේෂයෙන්ම තුලනාත්මක හැදෑරීමක් තුලදී යුරෝපා සාහිත්‍යයේ හැඩගැසීම තුල සම්භාව්‍ය ග්‍රීක හා රෝමානු සාහිත්‍යයේ බලපෑම නැවත නැවතත් මතුවන්නකි. උදාහරණයක් ලෙස නූතන ඉංග්‍රීසි සාහිත්‍යය ගතහොත් එහි සෑම කඩඉම් යුගයකම පාහේ බටහිර සම්භාව්‍ය සාහිත්‍යය සමඟ පොදුවේත්, එහි වීර කාව්‍ය සම්ප්‍රදාය සමඟින් විශේෂයෙනුත් අන්තර්-පඨිතතා (නැතිනම්, එකිනෙක හරහා යෑම්) හමුවේ. 17 වන සියවස මුල් කාර්තුවේ නාට්‍ය නිෂ්පාදනය කල විලියම් ෂේක්ස්පියර්ගේ ඇතැම් නිර්මාණ ගත්තත්, 17 සියවස අග සිට 18 සියවස මුල් භාගය හරහා පරිනතභාවයට පත්වන ඔගස්ටන් සම්ප්‍රදායේ සාහිත්‍යය සැලකුවත්, 19 සියවස මුල් කාර්තුවේ කාව්‍යකරණයේ යෙදුනු ජෝන් කීට්ස්ගේ ඇතැම් කවි සලකා බැලුවත්, ඊට සියවසකට පමණ පසුව බිහිවුනු යුරෝපා නව්‍යවාදී සාහිත්‍යය ගවේෂණයේදීත් මේ කාරණය නැවත නැවත ඉස්මතු වනු පෙනේ.

101555703_3068696853198051_5800585020963815424_o
හෝමර්ගේ “ඉලියඩ්” කෘතිය සහ ඒ ආශ්‍රයෙන් ගොඩනැගුනු “ට්‍රෝයි” චිත්‍රපටය


සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය තුල ග්‍රීක සම්ප්‍රදායේ මහා වීර කාව්‍ය දෙකක් ගැන හදාරනු ලබයි. “හෝමර්” යන සම්ප්‍රදායික නමින් අප සාමාන්‍යයෙන් හඳුන්වන අයෙකු විසින් නිර්මාණය කරන ලද බවට පිලිගැනෙන මේ කාව්‍ය ද්විත්වය නමින් “ඉලියඩ්” හා “ඔඩිසි” නම් වේ. මේවා ක්‍රි.පූ 8 වන සියවසේ ප්‍රබන්ධ කරන්නට ඇති බව සම්ප්‍රදායක පිලිගැනීම වුවත්, මේවා කාලයත් සමඟ පරිනාමය වෙමින් පැමිණි බවට සාධාරණ මතයක් ඇත. “ඉලියඩ්” හා ”ඔඩිසි” මුල්ම අවස්ථාවේදී වාචිකව පවත්වාගෙන ආ සාහිත්‍ය සම්ප්‍රදායකට අයත්ය. ඒවා ලේඛණගත කෙරෙන්නට ඇත්තේ පසුකලෙක බව පිලිගැනීමයි. මේ අලිඛිත ඉතිහාසය හා පරිනාම ප්‍රවණතාවය නිසා මෙම වීර කාව්‍යවල අන්තර්ගතය, ඒවාට අදාල කතා වස්තූන්, මෙන්ම ආඛ්‍යාන රීති ආදියද සාමූහික ජන විඥානයක් තුල පහසුවෙන් ප්‍රචාරණය හා ප්‍රසාරණය වෙමින් කලක් මුලුල්ලේ පවතින්නට ඇත. එමෙන්ම, වෙලඳ කණ්ඩායම් හා දේශගවේෂක සංචාරකයින් අතින් දේශ හා සංස්කෘතික සීමා අතික්‍රමණය කරමින් මේ කතා වස්තූන් ප්‍රදේශ ගණනාවක් හරහා විසරණය වන්නට ඇත. මේ හේතුව නිසාම මෙම මහා කාව්‍යවල ප්‍රාදේශීය සංස්කරණයන් මෙන්ම විවිධ සංස්කෘතීන්ට අනුකූල වුනු රචනයන්ද පවතී. මෙම නව සංස්කෘතීන් අතරට කාන්දු වීමත්, වෙනත් එවැනි සංස්කෘතීන්ගෙන් අවශෝෂණය කරගැනීමත් වඩාත් හොඳින් ඉස්මතුවන අවස්ථාවක් වන්නේ වාල්මිකීගේ රාමායණය තුල වන අතර එය ගැන පසුවට සඳහන් කරන්නෙමු.

ග්‍රීක සම්ප්‍රදායේ හමුවන තවත් වඩා පසු කාලිනව රචනය වුනු මහා කාව්‍යයක් වන්නේ ක්‍රි.පූ 3වන සියවසේ ලියන්නට ඇතැයි සැලකෙන රෝඩ්ස් හි ඇපොලෝනියස් ප්‍රබන්ධ කල “ආර්ගොනොටිකා” (හෙවත්, “වොයේජ් ඔෆ් ද ආර්ගෝ”) කෘතියය. “ඉලියඩ්” හා “ඔඩිසි” මෙන් නොවන එහි මුල් ප්‍රකාශනයම ලිඛිත එකකි. “ඉලියඩ්” කාව්‍යයට වස්තු විෂය වන්නේ ග්‍රීක පුරවෘත්ත හා ජනශ්‍රැති සාහිත්‍යයේ කේන්ද්‍රීය ස්ථානයක් හිමිකරගෙන ඇති ට්‍රෝජන් යුද්ධයයි. “රාමායණයේ” ලංකා සටන හා “මහාභාරතයේ” කුරුක්ෂේත්‍ර සටන වැනිම වූ ප්‍රාග්-ඓතිහාසික සමයක පිහිටන මෙහිදී ග්‍රීක රාජ්‍යයන්ගේ එක්සත් හමුදාවක් විසින් බටහිර (සුළු) ආසියාවේ පිහිටි බවට පුරාවෘත්තවල සඳහන් ට්‍රෝයි දේශය වටලා එයට පහර දීමක් සිදුකරයි. මෙම ආක්‍රමණයට හේතුව ලෙස පුරාවෘත්තවල සඳහන් වන්නේ – “රාමායණයේ” ආකාරයටම – ප්‍රාග්-ඓතිහාසික ග්‍රීසියේ ස්පාර්ටාවේ මෙනොලෝස් රජගේ මෙහෙසිය වූ හෙලන් කුමරියව ට්‍රෝයි නුවරින් එහි පැමිණි පැරිස් කුමාරයා විසින් “පැහැරගෙන” යාමයි (මෙය පැහැරගෙන යාමක්ද, කැමැත්තෙන් යාමක් ද කියා අදටත් විද්වත් විවාද පවතින අතර, පුරාවෘත්තයේ විවිධ වෙළුම් අතරද පරස්පරතා පවතී). මෙම “පලායාම” මෙනොලොස්ට තම කීර්තිනාමය හා සම්බන්ධ ගැටළුවක් වන අතර ග්‍රීසියේ වඩාත් රණකාමී රජතුමා ලෙසට පුරාවෘත්තයේ එන ඇගමෙම්නොන්ට මෙය ට්‍රෝයි නුවරට පහරදී අල්ලා ගැනීමට හොඳ නිමිත්තක් සැපයූ සිද්ධියකි.

විවිධ ග්‍රීක රාජ්‍ය රැසක සහය ඇතිව දියත් වන නැව් සේනාංකය ට්‍රෝයි නුවර වටලයි. ශක්තිමත් කොටු බැම්මකින් වටකර ඇති ට්‍රෝයි නුවර ප්‍රසිද්ධියට පත්වී තිබුනේ “යටත්කරගත නොහැකි” නගරයක් ලෙසයි. ග්‍රීක හමුදාව වසර දහයක් කඳවුරු බැඳ සිටියි. “ඉලියඩ්” කාව්‍යය ආරම්භවන්නේ මේ දසවැනි වර්ෂයේදී, සටන් විරාමයක් අතරතුරදීයි. ට්‍රෝයි නුවර වෙරළ තිරයේ පවතින නිද්‍රාශීලී තත්වය දෙස ඔලිම්පස් කඳු මුදුනේ සිට බලා සිටින දෙවිවරුන් තීරණය කරන්නේ මේ අලස, අතීරණාත්මක තත්වය පැවතුනා කල් වැඩි බවයි. “දේව-මැදිහත්වීමකින්” එක් පිලකින් අනෙක් පිලට නිකුත්වන ඊතලයකින් සටන තීරණාත්මක ලෙස යලි ඇවිලේ.

මෙසේ ආරම්භවන “ඉලියඩ්” මහා කාව්‍යයේ අප අද භාවිත කරන මුද්‍රණය පරිච්ඡේද (හෝ ඛණ්ඩ) 24 කින් යුතු කෘතියකි. එය අවසාන වන්නේ ට්‍රෝජන් හමුදාවේ මහා යුධවිරුවා වන හෙක්ටර් කුමාරයාගේ මරණයෙනි. ට්‍රොජන් යුද්ධයෙන් පසු අවස්ථාවක් පාදක කරගනිමින් රචනය වන “ඔඩිසි” මහා කාව්‍යය යුද්ධයට සහභාගී වී, එය ජයගැනීමට උරදුන් ග්‍රීසියේ ඉතාකා රාජ්‍යයේ ඔඩිසියස් (යුලිසිස්) ගේ සියරට බලායෑමේ වික්‍රමය විග්‍රහ කරයි. ට්‍රෝයි නුවර මහා කොටුබැම්ම පරයමින් නගරය තුලට ඇතුලු වී එය යටත් කරගෙන විනාශ කිරීමට යොදාගත් “ට්‍රෝජන් අශ්වයා”ගේ ප්‍රයෝගය ඔඩිසියස්ගේ උපක්‍රමයකි. තම පීතෘභූමිය බලා ගමන් ගන්නා ඔඩිසියස් විවිධ අනතුරු හා ආන්තරා වලට මුහුණ දෙයි. ඔහුට නැවත තම ගම්බිම් බලා ලගාවීමට වසර දහයක්ම ගතවේ. ඔහුගේ නැව කුනාටුවලට හසුවේ. විවිධ දූපත්වල වෙසෙන සුන්දර ගැහැණුන් නිසාද ගමන ප්‍රමාද වේ. නැවත තම රාජධානිය වෙත ලඟාවීමේදී තම සිහසුනත් ඔහුගේ රැජිණ පෙනෙ‍ලාපීවත් අත්පත්කරගැනීමට තරඟ කරන එකසිය නවදෙනෙකු පරාජයට පත්කිරීමටද ඔඩිසියස්ට සිදුවේ.

රෝඩ්ස් හි ඇපොලොනියස්ගේ “ආර්ගොනොටිකා” ද වික්‍රමාන්විත ගවේෂණයක් මත කේන්ද්‍රවන කාව්‍යයකි. තමාට පැවරෙන වීර අභියෝගයක් ජයගන්නට ජේසන් නැමැති එම කාව්‍යයේ මහා වීරයා තම පිරිසත් සමඟ යෙදෙන සමූද්‍ර තරණයක් හරහා කතාව ගොඩනැගේ. ත්‍රාසජනක අවස්ථා, මායාභූත හමුවීම්, අනාගත වාක්‍ය, දේව මැදිහත්වීම් ආදී “ඉලියඩ්” හා “ඔඩිසි” තුල විශේෂයෙනුත්, මහා කාව්‍ය සාහිත්‍යයේ පොදුවේත් ඇති ආඛ්‍යාන හා කතා රීති මෙහිදීද දක්නට ඇත. ජේසන්ට තම අභියෝගය ජයගන්නට උපකාර කරන්නේ ග්‍රීක ලෝකයෙන් බාහිර කොල්කිස් (වර්තමාන ජෝර්ජියාවේ බවට සැලකෙන) හි “මායාකාර” මිඩෙයාය. ග්‍රීක පුරාවෘත්තයට හා සාහිත්‍යයට අනුව මිඩෙයා ජේසන් සමඟ නැවත ග්‍රීක ලෝකය බලා පැමිණේ. මිඩෙයා වෘත්තාන්තය ද විවිධාකාරයෙන් ග්‍රීක සාහිත්‍ය තුල ස්ථානගත වන අතර ඉන් වඩා ප්‍රසිද්ධ අවස්ථාවක් වන්නේ යුරිපිඩිස්ගේ “මිඩෙයා” නාට්‍යයයි.

100753093_3072345192833217_8172305999500148736_o
තම පියාගේ ආත්මය මුනගැසෙනු වස් මළවුන්ගේ ලෝකයට පිවිසෙන “ඉනීඩ්” හි ඉනියාස්.

එහි අනෙකුත් කලා, ගෘහ නිර්මාණ හා සංස්කෘතික දායාදයන් ප්‍රකට කරන අයුරින්ම රෝමයේ සාහිත්‍යය තුලත් ග්‍රීක සම්ප්‍රදායේ ලක්ෂණ තදින් පිහිටා තිබේ. රෝම සම්ප්‍රදායේ මහා කාව්‍ය අතර වර්ජිල්ගේ “ඉනීඩ්” (ක්‍රි.පූ 29-19) හා ඔවීඩ්ගේ “මෙටමෝර්ෆසීස්” තුලනාත්මක සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය තුල වැදගත් තැනක් හිමිකරගනී. මෙහිදී “ඉනීඩ්” තම ක්ෂේත්‍රය බවට පත්කරගන්නේ රෝමයේ පුරාවෘත්තමය ආදි මුතුන්මිත්තා වන (ඇතැම් අය ඇනියාස් කියා හඳුන්වන) ඉනියාස් ප්‍රමුඛ පිරිස “හිස්පෙරියා” නොහොත් “බටහිර භූමිය” සොයා යන ගමනයි. ඔවුන්ගේ ගමන ආරම්භවන්නේ ග්‍රීකයින් විසින් ගිනිතබා විනාශ කල ට්‍රෝයි නුවර සිටයි. ට්‍රෝජන් නුවරින් දිවි ගලවාගත් 700ක් දෙනා සමග රහසිගතව සඟවා තැබූ නැව් සේනාංකයක නැගී පිටත්වන ඉනියාස් බාධක රැසක් අභිබවමින් තම ගමනාන්තය සොයා ගමන් කරයි. “ඉලියඩ්” මෙන්ම මෙම කාව්‍යයද ආරම්භ වන්නේ වීර කාව්‍ය සම්ප්‍රදායට අනන්‍ය රීතියක් වන කතාවේ අවසානයට ආසන්න අවස්ථාවකිනි (“medias res”). මෙසේ අවසානයට ආසන්න තැනකින් ආරම්භවන කතාව බොහෝ විට ප්‍රතිආවර්ජනයක් වැනි ක්‍රමෝපායක් හරහා කතාවේ මුල් අවස්ථාවන් ග්‍රහණය කරගෙන නැවත ඉදිරියට විකාශය වේ. සාමාන්‍ය මතය වන්නේ “ඉනීඩ්” ප්‍රබන්ධ කර අවසන් කිරීමට පෙර වර්ජිල් මිය ගිය බවත්, ඔහුගේ අවසන් කැමැත්තට පිටින් යන රෝමයේ ඔගස්ටස් අධිරාජ්‍යයා මෙම කෘතිය ප්‍රකාශයට පත්කල බවත් ය.

“ඉලියඩ්” සිට “ඉනීඩ්” දක්වා වන අපරදිග වීර කාව්‍යාවලියට සමාන්තරව බිහිවුනු පෙරදිග වීර කාව්‍ය සම්ප්‍රදාය වාල්මිකීගේ “රාමායණය” සහ ව්‍යාසගේ “මහාභාරතය” යන කේන්ද්‍ර දෙකෙන් යුක්තය. ක්‍රි.පූ 7-4 සියවස් අතර ලියවුනු බවට (එහි අවසන් කොටස් ක්‍රි.ව 4 වන සියවසේදී පමණ ලියවෙන්නට ඇතැයි ද ඇතැම් අය සලකන) “රාමායණයේ” සම්ප්‍රදායානුකූල කතෘත්වය පැවරෙන්නේ වාල්මිකී නම් පඬිවරයාටය. පද්‍ය 24,000 කින් පමණ යුතු “රාමායණය” හා සමපාතවන පද්‍ය 200,000කින් පමණ යුක්ත “මහාභාරතය” ක්‍රි.පූ 3 හා ක්‍රි.ව 3 සියවස් අතර ලියවෙන්නට ඇතැයි අනුමාන කෙරෙයි.

අපරදිග ලෝකයේ “ඉලියඩ්” හා “ඔඩිසි” කාව්‍යයන් ජන ජීවිතයට, සංස්කෘතියට, සාහිත්‍යයට බලපෑ ආකාරයටමත්, ඒවා වෙලඳාම, යුද්ධය, සංක්‍රමණය හා දේශගවේෂණය අතින් ප්‍රාදේශීය වශයෙන් හා කලාපීය වශයෙන් සංසරණය වුනු ආකාරයටමත් “මහාභාරතය” හා “රාමායණයද” දකුණු, නැගෙනහිර හා අග්නිදිග ආසියා කලාප තුල විසරණය විය. ප්‍රාදේශීය වශයෙන් මේවාහි ප්‍රභේද ඇතිවුනු අතර හින්දු හා බෞද්ධ සංස්කෘතික බලපෑමද මෙයට හේතුවන්නට ඇත. උදාහරණයක් ලෙසට 12 වන සියවසේ පමණ රචනා වන්නට ඇතැයි සිතන “රාමාවතාරම්” හෙවත් “කම්බා රාමායනය” වාල්මිකීගේ රාමායණය දෙමළ භාෂාවට නැගීමට ගත් උත්සාහයකි. ඇතැම් අග්නිදිග ආසියාතික කලාපීය රටවල රාම බෝධිසත්ව ස්වරූපයෙන් සැලකීම නිසා “රාමායණය” ඒ පරිකල්පනයට පහසුවෙන් ඇතුලු වන්නට ඇත.

“මහාභාරතය” හා “රාමායණය” යන කාව්‍ය ද්විත්වයම පෞරාණික හින්දු ඉගැන්වීම් ව්‍යංගයෙන් සමාජගත කරන්නටත් ඒවා පවත්වාගෙන යාමටත් පබැදුනු බව එක් මට්ටමකදී පැහැදිලි වේ. මෙම මහා කාව්‍ය ද්වන්ධය පොදු වශයෙන් පීතෘ භූමිකාව, සහෝදර සබඳතා, විවාහය හා ගෘහස්ථ ජීවිතය, දේශපාලනය, පාලිතභාවය, රාජත්වය, දෙවියන් ‍කෙරෙහි වන භක්තිය ආදී සංස්කෘතික අංශ පිලිබඳව පරමාදර්ශ සපයන අඛ්‍යානයන් ලෙස සැලකිය හැක. “රාමායණයේ” එන රාම, සීතා, භරත, ලක්ෂ්මණ, රාවණ හා හනුමන් ඒ ආකාරයෙන් ඉන්දීය උප මහද්වීපයේත් අග්නිදිග ආසියා කලාපයේ වියට්නාමයේ සිට තායිලන්තය හා ඉන්දුනීසියාව දක්වාත් ඒ ශිෂ්ටාචාරවල ජනවිඥානයට ඇතුලු වී ඒවා තුල වෙනම අනන්‍යතා ගොඩනගාගත්හ.

පොදු තේමා හා ලක්ෂණ

වෙනත් ලක්ෂණද ඇතුලත්ව පහතින් සඳහන් කර ඇති විශේෂ සාධක බටහිර හා පෙරදිග වීර කාව්‍යයන් තුල පොදු රීතීන් ලෙස භාවිත වේ.

1) රජවරුන් හා මහා වීරයන් ආශ්‍රිතව කතා හා තේමා
2) මනුෂ්‍ය ලෝකය හා මැදිහත්වන දෙවිවරුන් (Divine intervention)
3) පරමාදර්ශී චරිත
4) මහා කාව්‍යවලට අනන්‍ය අතිශයෝක්තිය (Epic exaggeration)
5) වීරත්වය තීව්‍ර කරන උපමා රූපක
6) අනාගත වැකි / දේව වැකි
7) වෙනත් සමාන්තර ප්‍රබන්ධ හා ප්‍රවාද සමඟ ඇති සංකලනය

කුමන සම්ප්‍රදායට අයත් වුවත් වීර කාව්‍යවල ප්‍රධාන චරිත ලෙස මෙහෙයවෙන්නේ රජවරුන් හා ප්‍රභූ පැලැන්තියේ අයයි. දුප්පත් සිඟා ජීවත් වන පීඩිත මිනිසෙකු ගැන අද දක්වා වීර කාව්‍යයක් ලියවී නැත. රනින් සැරසූ මහා මන්දිර, සමෘද්ධිය හා සාරවත් බව, මහා සටන් හා මහා යුද්ධ, හැතැප්ම ගණන් ඈතට ඊතල විදින දුනු, කැපුම් පහර හා හී තුවාල දරාගෙන සටනේ යෙදෙන වීරයන්, විවිධ තරාතිරමේ දෙවිවරුන් හා කෙරෙන මුනගැසීම්, අනර්ඝතම මට්ටමේ භෝජන සංග්‍රහ ආදිය නැවත නැවත දැකිය හැකි සාමාන්‍ය අවස්ථාවන්ය.

Draupadi Vastraharan
ද්‍රෞපදීගේ වස්ත්‍රාහරණය අවස්ථාව – “දේව මැදිහත්වීමට” යෝග්‍ය උදාහරණයක් ලෙස.

හස්තිනාපුර උරුමය වෙනුවෙන් කෞරව හා පාණ්ඩව ඥාති සොයුරන් අතර ඇතිවුනු යුද්ධය හෙවත් කුරුක්ෂේත්‍ර යුද්ධය “මහාභාරතයේ” උච්චතම අවස්ථාවක් ලෙස සැලකිය හැක. “මහාභාරතය” ඇසුරින් නිමවුනු ටෙලි නාට්‍යයක් 90 දශකයේ මුල් කාලයේ ලංකාවේද විකාශනය වුනු නිසා මෙය ශ්‍රී ලාංකිකයන්ට සමීප කතා පුවතක් බව සිතේ. පාණ්ඩව කුමාරවරුන්ගේ දක්ෂතම දුනුවායා වුනු අර්ජුන් හා ඔහුගේ රථචාර්ය ක්‍රිෂ්ණ අතර ඇතිවුනු දෙබස ආශ්‍රිතව හින්දු සම්ප්‍රදායේ වැදගත්ම කෘතියක් වන “භගවත් ගීතාව” සම්පාදනය වී හින්දු සංස්කෘතියට එකතු විය. තම ලේ ඥාතීන් සමඟ සටන් කිරීමට සිදුවීමේ ආත්මීය උභතෝකෝටිකයට මුහුණ දෙන අර්ජුන්ට ක්‍රිෂ්ණ ලබාදෙන මාර්ගෝපදේශය ඇසුරින් මෙය රචනා වී ඇත. ඉහත පොදු ලක්ෂණ අතරින් අවසානයට සඳහන් කල සමාන්තර ආධ්‍යාත්මික හා සාහිත්‍ය ලෝකය සමඟ මහා කවි සංකලනය වුනු ආකාරය තේරුම් ගැනීමට “භගවත් ගීතාව” නිදර්ශනයක් සපයයි. මෙවැනිම වෙනත් අවස්ථා ජනශ්‍රැතිය මෙන්ම පුරාන කවි සම්ප්‍රදායේ සාහිත්‍ය තුලද දැකිය හැක.

මනුෂ්‍ය කටයුතුවලට දෙවියන් මැදිහත් වීම, මනුෂ්‍ය ක්‍රියාකාරකම් දේව භක්තිය හා කැමැත්තේ පිලිබිඹුවක් වීම, ඔලිම්පස් වැනි දේව සභාවක ගන්නා තීරණ අනුව මනුෂ්‍ය දෛවය හැසිරවීම ආදී භූතාත්මක තලයන් වීර කාව්‍යවල අනන්‍යතාවයේ කොටසකි. “ඉනීඩ්” කාව්‍යයේ ට්‍රෝයි නුවර යුද්ධයෙන් විනාශ වීම එම නුවරට අධිපති දෙවියා වුනු නෙප්චූන්ද ඇතුලු ප්‍රභූ තලයේ දෙවිවරුන් කිහිප දෙනෙකුගේම අනුමතය හා එකඟතාවය මත සිදුවුනු එකකි. ගිනිගෙන විනාශ වුනු ට්‍රෝයි නගරයෙන් පලායන සරණාගත කණ්ඩායමට නායකත්වය දෙන ඉනියාස්ගේ බිරිඳ වන ක්‍රෙවුසා පලායන කණ්ඩායමෙන් වෙන්කර ඇගේ මරණය වෙත යොමුකරවන්නේද දේව මැදිහත්වීමෙනි. (මීට හේතුව වන්නේ අනාගතයේ ලතින් දේශයේ බිහිකරන නව රාජ්‍යයක ඉනියාස් හා අතිනත ගැනීමට රැජිණක් දේව කැමැත්ත අනුව ඒ වනවිටත් තෝරා සිටින නිසාය).

1
“රාමායණය” ඉන්දුනීසියාවේ වේදිකාවට නැගූ අවස්ථාවක් 

දේව අතපෙවීම් සම්බන්ධ ස්මරණීය අවස්ථාවක් “මහාභාරතයේ” දාදුකෙලියේ යෙදෙන පාණ්ඩව කුමාරවරුන්ගේ දේපල හා වස්තුව කෞරවයන් හට පරාජය වන අවස්ථාවේදී සිදුවේ. අවසානයේදී තම රැජින වන ද්‍රෞපදීවද ඔට්ටු තබා අහිමිකරගන්නා පාණ්ඩවයන් ඉදිරිපිටදීම ද්‍රෞපදීගේ ඇඳි වස්ත්‍රය උනාදැමීමෙන් ඇයව නිර්වස්ත්‍ර කිරීමට කෞරවයන් සැරසේ. මේ අවස්ථාවේදී ද්‍රෞපදී තම දුක්ගැන්විල්ල ඉදිරිපත් කරමින් ක්‍රිෂ්ණට කන්නලව් කර සිටී. එම කන්නලව්වට කන් දෙන ක්‍රිෂ්ණ මැදිහත්වීම නිසා හාස්කමකින් ද්‍රෞපදීගේ වස්ත්‍රය ගලවන ප්‍රමාණයටම දිගුවී ඇගේ ශරීරය ආවරණය කරයි. අවසානයේදී එය ගලවන්නට අණ ලැබූ දුශාසන් කුමාරයා වෙහෙස වී ඇද වැටේ. මෙවැනි තීරණාත්මක අවස්ථා රැසකදී දේව මැදිහත්වීම දක්නට ලැබීම සාමාන්‍ය මහා කාව්‍ය ලක්ෂණයකි. “ඉලියඩ්” කෘතියේ යුධ පෙරමුණ දර්ශනයකදී (එම කාව්‍යයේ සුළු චරිතයක් වන) ඉනියාස් අමනෝඥ ලෙස ග්‍රීකයින්ගේ මහා වීරයා වන ඇකිලිස්ට අභියෝග කර සිටි මොහොතේ ඉනියාස් හා සටන් වැදී ඔහු පරාජය කර ඔහුව මරා දැමීමට ඇකිලිස් ලෑස්ති වෙයි. මෙවිට පොසයිඩන් (නෙප්වූන්) සුළං කුණාටුවක් මවා ඉනියාස්ව බේරාගනීයි. අනාගත රෝමයේ මුතුන්මිත්තා වන්නේ මේ ඉනියාස් ය.

වීර කාව්‍යවල වීරයන් පොදුවේ පරමාදර්ශී චරිත ලෙස ගොඩනංවා ඇත. දේව භක්තිය ඇතුළු මහා පුරුෂාර්ථ ඔවුන්ගේ ජීවිත හසුරුවයි. තමා ලතින් දේශය බලා යන ගමන අතරතුර උතුරු අප්‍රිකාවේ කාර්තේජයේ ඩයිඩෝ කුමරිය සමඟ ගෘහස්ථ සම්බන්ධයක් ඇතිකරගෙන සිටින ඉනියාස් ඇයව අතහැර නැවත නැව් නගින්නේ දේව පණ්වුඩයකට ගරු කරමිනි. නින්දේ දී සිහිනෙකින් ඔහු වෙත එන තම පියාගේ ආත්මයට වුනු පොරොන්දුවක් ඉටු කිරීමට ඉනියාස් ඉතා දුෂ්කර හා අභියෝගාත්මක ගමනක් වුනු මළවුන්ගේ ලෝකය බලාද පිටත්වෙයි.

මේ අතර දේව වාක්‍ය හා අනාගත වැකි ද ප්‍රධාන වීර කාව්‍ය තේමාවකි. සම්ප්‍රදායක වක්තෘ වරුන් මෙන්ම, වෙස්වලා පැමිණෙන දෙවිවරුන් හා සිහිනෙන් පෙනී සිටින මළගියවුන් මාර්ගයෙන් අනාගතයේ සිදුවීමට නියමිත දේ ගැන විවරණයන් මේ වීරවරයන් ලබාගනී. ඉතා වැදගත් අනාගත වැකි කිහිපයක්ම අඩංගු “ඉනීඩ්” කෘතියේ නිර්මාණ ගුණයෙන් ඉහලම අවස්ථාවක් වන්නේ ඉනියාස් වීරයා මළවුන්ගේ ලෝකයට පිවිස තම පියාගේ ආත්මය මුනගැසෙන අවස්ථාවයි. ලතින් දේශය සොයා යන ගමනේ බාධක හමුවේ හෙම්බත්වී සිටින ඉනියාස්ව යලි උපදින්නට වරම් හිමිකරගත් වුන් සිටින නිම්නයකට කැඳවා යන පිය ආත්මය එහි සිටින ඇතැම් ආත්ම පෙන්වා පවසා සිටින්නේ ඒ අනාගතයේ බිහිවන රෝමයේ උපදින්නට නියමිත අය බවයි. රෝම ඉතිහාසයේ ගාම්භීරබවද මතුකරමින් ලියවෙන “ඉනීඩ්” කෘතියේ ඉතා සාර්ථකම කාණ්ඩයක් ලෙස මම මෙම කොටස සලකන්නෙමි.

මෙවැනි අවස්ථා තීව්‍රව ඉදිරිපත් කිරීමට මහා කාව්‍ය රචකයා නිතරම අතිශයෝක්තිය, වීරත්වය ඔප මට්ටම් කරන උපමා රූපක, අලංකාරක, වර්ණනා ආදිය සම්ප්‍රදායිකව යොදාගනී. සාමාන්‍ය උපමා රූපක වලින් වෙනස් වන මේවා උපමාවක් ලෙස ගලපන අවස්ථාවක් දීර්ඝ ලෙස විස්තර කරමින් වෙනම කතා අවස්ථාවක් දක්වා ඒ හරහා ප්‍රවේශය ලබාගන්නා අවස්ථා මෙම සාහිත්‍යය තුල සුලභව දැකිය හැක. අතිශයෝක්ති වර්ණනා හා අලංකාරක පසුකලෙක වෙනත් සාහිත්‍ය ප්‍රභේද තුලටද අවශෝෂණය වී ඒවා පෝෂණය කර ඇතිබව තුලනාත්මක අධ්‍යයන හරහා හඳුනාගත හැක. පහසු උදාහරණයක් ලෙස සංස්කෘත සම්ප්‍රදායෙන් පෝෂණය වී ඇති සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ කෝට්ටේ යුගය දක්වාම ඇතැම් නිර්මාණ තුල මෙම ලක්ෂණ හඳුනාගත හැක.

 

“ඔබේ යහපත වෙනුවෙන් එය අමතක කර දමන්නද?”

මෙහිදී කිසිවෙකු එල්ලුම් ගස් යැවීමක් හෝ පීඩාවට පත්කිරීමක් සිදුවිය යුතුද නැහැ. සිදුවිය යුත්තේ කාපට් එක යටට තල්ලු කල කුණු එතනින් එලියට ගෙන ප්‍රසිද්ධියේ, සම්මත ආකාරයට බැහැර කිරීමක්. අවංකව, හෘද සාක්ෂියට එකඟව වැරදි පිලිගෙන, ඒ පැවති තත්වයට වගවෙමින්, සමාව ගතයුතු අය සිටීනම් සමාව ඉල්ලා සිටීමක්. පිිලිගත හැකි නීති රාමුවක් තුල යුක්තිය පිහිටුවීමක්.

මේ කවිය ඇතැම් විට මාත් සමඟ උසස් ‍‍පෙල සාහිත්‍යය කල අයට මතක තිබෙනන්ටත් හැකියි. දෙවන ලෝක යුද්ධයත් සමඟ ජර්මනියෙන් විප්‍රවාසීව සිට, පසු කාලෙක ලාංකික ජාතිකයෙක් හා විවාහ වී තම ජීවිතයේ ඉතිරි කාලය කොළඹ ජීවත් වුනු ඇනලීසා කැට්ස් නොහොත් ඈන් රණසිංහගේ කවියක්. යුදෙව් ජාතික ඇගේ පවුලේ (මට මතක ආකාරයට) පියා හැර අනෙක් සහෝදර-සහෝදරයන්, මව ඇතුලු සියලු දෙනා නාසි හමුදා අතින් මිය යනවා. ඇය පසුකාලීනව ලියපු කවි සැලකිය යුතු ප්‍රමාණයක් මේ අතීතය සිහිපත් කරනවා. මම මුලින් සඳහන් කල කවියේ නම “Vivre In Peace” – “සාමයෙන් ජීවත් වීමට නම්” වගේ අදහසක්.

1_8J15TPVdbKtmmniF-euveA
ඈන් රණසිංහ

මේ කවිය දිගහැරෙන්නේ ලෝක යුද්ධ සමයේ ආර්යවාදී ජර්මානු හෙවත් නාසි පාලනය අතින් සිදුවුනු මානව විනාශය ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් ගැන පලවුනු විවෙචනයකට ප්‍රතිවිවේචනයක් ලෙසයි. ප්‍රදර්ශනය විචාරය කරන්නා අසා සිටින්නේ – “ජර්මානුවන් අතින් අපරාධයක් වුනා. ඒත් මේක හැමදාමත් මෙහෙම මඩේ දම දමා හෝදන්නට අවශ්‍ය වන්නේ ඩිප්‍රෙෂන් සමඟ අනුරාගයෙන් වෙලී සිටින්නෙකුට පමණකි” වැනි දෙයක්. කිවිඳිය මෙයට පිලිතුරු සපයමින් පවසා සිටින්නේ ඡායාරූපයකින් එහාට ගිය භීතිය, ම්ලේච්ඡත්වය, මරණය, අහිමි වීම සජීවීව තමා ඉදිරියේ මැවුනු බහු-විධිත අත්දැකීමක් නැවත නැවත ස්මරණ කිරීම වැදගත් බවත් එය ඒ භීෂණයේ ඡායාවක් පමණක්” බවයි. “ඔබේ යහපත වෙනුවෙන් එය අප අමතක කල යුතු වන්නේ ඇයි?” ඇය එතනදී විචාරකයාගෙන් අසා සිටිනවා.

අද, 2020 මැයි 18 වෙනිදා වනවිටත් සමස්ත ශ්‍රී ලාංකික දේශයම ග්‍රහණය වන ආකාරයේ පශ්චාත්-ගැටුම් වැඩසටහනකට හෝ එයට අවශ්‍ය පරිකල්පනයකට යාමට අප තවමත් අසමත්ව සිටිනවා. ලංකාවේ රාජ්‍යය ගැටුම් සම්බන්ධව දේශීය මට්ටමින් සාමාන්‍යයෙන් අනුගමනය කරන පිලිවෙල වන්නේ කාලයාට ඉඩදී බලාසීටීමේ සහ රොඩු බොඩු සියල්ල කාපට් එක යටට අතුගා දැමීමේ ක්‍රියාවලියයි. ජාත්‍යන්තරව බොහෝ විට සිදුවන්නේ කොටු පනිමින්, කොමිසම් පත්කරමින් ගෙන යන ක්‍රියාදාමයක් (මේ සම්බන්ධයෙන් ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් විසින් වාර්තාවක් පවා සම්පාදනය වී තිබෙනවා). යුද්ධයේ අවසන් කාලයේ මෙන්ම පසු-යුධ සමයේ මතුවුනු ඇතැම් සංකීර්ණතා අප ඉදිරියේ අදටත් තිබෙනවා. උතුරු ප්‍රදේශයේ ඉඩම් හා රැකියා සම්බන්ධ ගැටළුව විවිධ ස්වරූප වලින් තිබෙනවා. ඇතැම් ඉඩම් හා සම්ප්‍රදායික වගා හා ධීවර බිම් නිදහස් කරදුන්නත් එය උද්‍යෝගයකින් කරදුන් යලි පවරාදීමක් නොවේ. ඒ සඳහා දැවැන්ත අරගලයක් කරන්නට වසර 30ක යුද්ධයෙන් බැට කෑ ඒ සමාජයට සිදුවුනා. ඒ තත්වය තුලදීත් හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක කර්මාන්තය සම්බන්ධ අංශ ආදී නවීන ආර්ථිකය හා සම්බන්ධ තැන් රැසක ආධිපත්‍යය අදටත් පවතින්නේ ඒ ප්‍රදේශවල සාමාන්‍ය ජනයා අතේ නොවේ.

page_1_thumb_large
අතුරුදහන් වූවන් සඳහා යුක්තිය සොයා යන පවුල් සම්බන්ධ ක්ෂමා ආයතන වාර්තාවක් 

මේ අතර, දෙමළ ජාතික දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය යටයමින්, මතුවෙමින්, පවතිමින් තිබෙන එකක්.උතුරේ ජනතා නියෝජිතයින් මේ ගැන පසුගිය සතියේදීත් අගමැති මහින්ද හමුවී තිබුනත්, මෙය ඉතා පැරණි ප්‍රශ්ණයක විපරිත වර්තමාන අවස්ථාවයි. විවිධ පාර්ශවකරුවන් රැසක් උතුරේදීත්, දකුණේදීත් අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධව මතයක් ගොඩනගන්නට තැත් කලා. විශේෂ නිති යටතේ අත්අඩංගුවට ගෙන, පාපෝච්ඡාරණ මත සිර දඬුවම් නියම වූවන්ද ඇතුලුව සන්නද්ධ දෙමළ ව්‍යාපාරවලට සම්බන්ධ යැයි කියන තවත් 70කට නොඅඩු පිරිසක් සිරගෙවල්වල සිටින බව පැවසෙනවා. ඉතා අඩු වයසින් සිරභාරයට පත්වූ මේ ඇතැම් අය ද්වේශසහගතව සිරගත වූවන් බව විසාකේස චන්ද්‍රසේකරම් වැනි පර්යේෂකයින් කල අධ්‍යයනන් හරහා යෝජනා වෙනවා. ඒ ඇතැම් අය දැන් අවුරුදු 20 ගණනක් මෙම සිරගෙවල්වල සිටින්නේ සිවිල් යුද්ධයේ අවසන සිරභාරයට පත්වුනු සන්නද්ධ කැරලිකරුවන් ද පුනරුත්තාපනයෙන් පසුව යලි සමාජගත කෙරුනු තත්වයක් යටතේයි. මේ අතරම, යුද්ධයෙන් හා පසු-යුධ සමයේ අතුරුදහන් වුනු අය ගැන යුක්තිය අපේක්ෂාවෙන් කෙරෙන වසර ගණනක් දිග්ගැස්සුනු අරගලයක් ද රටේ පවතිනවා. මෙවැනි මතුපිට කාරනා හා බැඳුනු ව්‍යාකූල සමාජ-දේශපාලන ගැටළුවක් නොඇසූ කන් ව, ඒ ගැන අවධානයක් යොමු නොකරමින් රාජ්‍යය ඉදිරියට යන බවකි දක්නට තිබෙන්නේ.

cd615529e0194dfd855f9bbe20604251_18
යුද්ධයෙන් පසු අවධිය තුලදීද තම අයිතීන් වෙනුවෙන් අරගල කරන උතුරු වැසියන්. 

අද මැයි 18 වෙනිදා මගේ ෆේස්බුක් එකේ දෙදෙනෙක් වෙන වෙනම දමා තිබුනු පෝස්ට් දෙකක සාරාංශය පහතින් තිබෙනවා. දකුණේ ජීවත් වන පලමු කෙනා පවසන්නේ, රාජ්‍ය හමුදාව එදා නොසිටින්නට මේ රට අද අලු ගොඩක් වන්නට තිබූ බවයි. මොහුට 2009 මැයි මාසය වන විට වයස අවුරුදු 13යි. 2001 සටන් විරාම ගිවිසුම ඇතිවන අවස්ථාව වනවිට අවුරුදු 6යි. ඔහු උපත ලබන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේ සාකච්ඡා බිඳවැටී විමුක්ති කොටි සංවිධානය නැවත යුද්ධයට අවතීර්ණ වන වකවානුවේදීයි. දෙවන පෝස්ට් එක උතුරේ ඉපිද, එහි හැදී වැඩී, යාපනයේ උසස් අධ්‍යාපනය ලබා, ජීවිතයේ එක් අවස්ථාවකදී අත්අඩංගුවට පත්ව එහිදී වධබන්ධනයටද ලක්වුනු (එසේ වුනු බව පවසන) අද ලංකාවෙන් බැහැරව ජීවත්වන කෙනෙක්ගෙන්. ජාතිවාදී සිංහල හමුදා විසින් තම භූමිය අත්පත් කරගනිමින් නිමාවට පත්වුනු යුද්ධය අමතක නොකල යුතු බව ඔහු පවසනවා. අවසාන සටන් විරාම කාලයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි මොහු අද හතලිස් වියට ආසන්න කෙනෙක්. ප්‍රහාරක ජෙට් යානාවක් ඔහු මුල් වරට දැක ඇත්තේ අවුරුදු 8-9 වැනි කාලයේදී. ගුවනින් පැමිණ ප්‍රහාර දෙන ආකාරය ඔහුගේ ළමා වියේ අත්දැකීමක්. ඒ 80 දශකයේ අග භාගයේදීයි. ජිවිතයේ අවිනිශ්චිතබව සමඟ ජීවිත කාලය පුරාම ජීවත්වුනු ඔහු අදටත් (මා දන්න තරමින්) සරණාගත තත්වයේ සිටින්නෙක්.

sl_national_anthem_all-1200x550
සංස්කෘතික සහජීවනය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කර ඇති අවස්ථාවන් තුලදීද කපටි දේශපාලකයින් වාර්ගික බෙදීම පවත්වාගැනීමට ඉදිරිපත් වීම ජාතික ගීය පිලිබඳ අර්බුදයේදී දැකගත හැකිවිය.

යුද්ධයෙන් තවමත් පීඩා විදින විවිධ ජන කණ්ඩායම් ගැන 2020න් ඇරඹෙන දශකයේදී වත් අප 20-20 දැක්මක් (20-20 vision) ඇති නොකරගතහොත්, සහ රාජ්‍ය මට්ටමින් මේවා සම්බන්ධව පැහැදිලිව මැදිහත් වී ජන විඥානය මෙහෙයවීමක් සිදුනොවුනහොත් එය ඛේදවාචකයක අනවශ්‍ය දිග්ගැස්සීමක්. දේශපාලන සිරකරුවන්ට පසු-යුධ සමයක අත්විය යුතු යුක්තිය, භූමිය හා ප්‍රාදේශීය සම්පත් ඒ ජනතාව අතට පත්කිරීම, අතුරුදහන් කෙරුනු හා මරණයට පත්කෙරුවන්ට අත්විය යුතු යුක්තිය වැනි දේ තවදුරටත් පමා නොකල යුතුයි. මා මීට පෙරදීත් සඳහන් කර ඇති ආකාරයට මෙහිදී කිසිවෙකු එල්ලුම් ගස් යැවීමක් හෝ පීඩාවට පත්කිරීමක් සිදුවිය යුතුද නැහැ. සිදුවිය යුත්තේ කාපට් එක යටට තල්ලු කල කුණු එතනින් එලියට ගෙන ප්‍රසිද්ධියේ, සම්මත ආකාරයට බැහැර කිරීමක්. අවංකව, හෘද සාක්ෂියට එකඟව වැරදි පිලිගෙන, ඒ පැවති තත්වයට වගවෙමින්, සමාව ගතයුතු අය සිටීනම් සමාව ඉල්ලා සිටීමක්. පිිලිගත හැකි නීති රාමුවක් තුල යුක්තිය පිහිටුවීමක්.

සිවිල් යුද්ධයකින් පසුව උදාවෙන සමය යුක්තිය හා සාධාරණත්වය ඉටුකිරීමට වෙන් විය යුතුයි. ජයග්‍රාහිකයින්-පරාජිතයින්, ම්ලේච්ඡයින්-ශිෂ්ඨයින්, උතුම් උන්-නීච උන්, අපේ උන්-උන්ගෙ උන් කියන දේශපාලන බෙදීම්වලින් එහාට නොයමින් බහු-වාර්ගික රටක මේ දේ සිදුකිරීමට කොහෙත්ම බැහැ. “කොටි නැගිටින” බවට කපටි දේශපාලකයෙක් මුරගාන මොහොතේ රටේ සැලකිය යුතු පිරිසක් සලිතවන තත්වයකයි අප තවමත් සිටින්නේ. මේ සියල්ල වෙනස් විය යුතුයි. උතුරේ ජන ජීවිතයේ ගැටළු දකුණේ විඥානය සමඟ සමපාත වියයුතුයි. අප දැනටමත් අවුරුදු 11ක් ප්‍රමාද වැඩියි.

වින්දිතයින් ගැන ලිවීමේ භාෂාව වෙනස් කරගැනීමට කාලයයි.

88-90 ආණ්ඩුවේ හමුදා, පොලිසිය සහ අතුරු හමුදා විසින් ජවිපෙ මර්ධනය කරපු ආකාරය ගැන කතන්දර පින්තූර ද සමගින් පත්තර වල පලවන ආකාරය අපි නිතරම දකිමු. ඒ ඇතැම් පත්තර නැවත නැවත ඒවාම පලකරනවා ද දකිමු. කොටස්වලට ඡේදනය කරමින්, සිරකරුවාගේ පිටුපසට කර විලංගු ලූ දෑතට යා කල දම්වැල බාල්කයේ එල්ලන තැනින් මතු සම්බන්ධ කර ඉතුරු කොටස ගැන කුතුහලයක් උපද්දවා මේ සතියේ සටහන නිම කරන ආකාරය ද දකිමු.

තවත් ඇතැම් සටහන්වල මේ කැරලිකරුවන් ගැන සඳහන් කරද්දී විස්තරය ආරම්භ වන්නේ මවු කුස පිලිසිඳගත් තැන සිටය. පවුලේ විස්තර, ළමා විය ආශ්‍රය කරපු අය, අත්අඩංගුවට පත්වූ හැටි, විඳපු වද වේදනා, මිය යන්න පෙර කරපු කතාව, මරණයට පත් වූ පසු හමුදාවෙන් මිනියට කල දේ, එය ගෝනියේ බාපු ආකාරය, කැරලිකරුවාගේ නැඟනිය දැන් පදිංචි රට, නැඟනියගේ වැඩිමහල් පුතා කරන රස්සාව – ඔය ආදී දේ.

ධර්මන් වික්‍රමරත්න වැන්නන්ද, සති අග අතිරේක වලට ලියූ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් වැනි අය අතරත්, පත්තර අවකාශයෙන් එහාට ගොස් තත්වය විමසීමේදී හමුවන්නන් අතරත් වැඩි වෙනසක් නැත. 88-90 භීෂණයේ ඕනෑම මට්ටමේ ගවේෂණයක ලිප් ගල් තුන මෙන් අදටත් සිටින්නේ ඒ.සී අලස්, සී.ඒ චන්ද්‍රප්‍රේම, සහ රොහාන් ගුණරත්න ය. ජවිපෙ කැරැල්ල සම්බන්ධ ඕනෑම ලියවිල්ලක ග්‍රන්ථාවලියේ සිට පාද සටහන් දක්වා සෑම අවස්ථාවකදීම හමුවන මේ තිදෙනා කැරැල්ල අවසන් වුනු උනු උනුවේම දැඩි උද්‍යෝගයකින් තම පොත් පල කලවුන් ය. චන්ද්‍රප්‍රේම හා ගුණරත්නගේ සාකච්ඡාව තුලදීත් වධකාගාරවල අභ්‍යන්තර තත්වය, සිරකරුවන් වධ බන්ධනයට ලක්වන ආකාරය, ඔවුන්ව මරණයට පත් කරන ආකාරයන්, අදාල දින වකවානු, (උපාලි ජයවීර වැනි) ඇතැම් සිරකරුවන් කල පාපෝච්ඡාරන ආදිය ගැන පැහැදිලි විස්තර ඇත.

ව
කැරැල්ල සම්බන්ධ “අතිරේක” සාහිත්‍යය

මෙම පත්තර ගත්තත්, කැරැල්ලේ “අභ්‍යන්තර කතාව” කියන බවට අපට පොරොන්දු වන ගුණරත්න-චන්ද්‍රප්‍රේම පන්නයේ පොත් ගත්තත් එක පොදු සාධකයක් ඇත. වධ බන්ධනයට ලක්ව ඉතා කෲර අන්දමින් මිය යන පිරිසේ ලැයිස්තු සවිස්තරාත්මකව බෙදාහදාගෙන ඇතත් ඒ මරණ නියෝග කල හා ඒ නියෝග ක්‍රියාත්මක කල අය ගැන ඇත්තේ හැංගි හොරා සාකච්ඡාවකි. ඒ නම් ගම් සඳහන් වන්නේ ව්‍යංගයෙනි. ඒ බිහිසුනු මරණ ක්‍රියාත්මක කිරීම සටහන් කරන්නේ කර්මකාරකයෙනි. ඉතා වැඩි අවස්ථා ගණනක් ඇත්තේ ඒ වගකිව යුත්තන් ගැන කිසිම සඳහනක් නැති, ඔවුන්ව චේතාන්විතව ආවරණය කරපු සටහන්ය.

508480
රොහාන් ගුණරත්නගේ කැරැල්ලේ “අභ්‍යන්තර කතාව”

“මෙහිදී අපට මතුවන ගැටළුව වන්නේ, මෙතරම් ආසාවෙන් තළු මරමින් නැවත නැවත පල කරන, නැතිනම් ආයාසයෙන් කරුනු එකතු කරමින් සම්පාදනය කරන ලිපි හා කෘති එසේ ලියන්නේ ඇයි? යන්නයි. ඒවා එසේ ලියන්නේ කාට කුමක් සඳහාද? යන්නයි. අපරාධයක වින්දිතයාගේ බිහිසුනු මරණය සති ගණන් අදිමින් ලියා, ඔහුව එසේ මරණයට පත්කල පුද්ගලයා හෝ ඊට අණ දුන් කෙනා බොඳ කර හැරීම රචනාත්මක පදනමින් දුර්වල නිර්මාණයකි. නමුත් මේවා රචනාත්මක සුන්දරත්වය පදනම් කොටගෙන ලියු ඒවා නොවේ. යම් යුගයක, යම් දේශපාලන මංසන්ධියක නියෝජනය වෙනුවෙන් ලියන්නට යෙදුනු ඒවා ය. රාජ්‍ය පාක්ෂික සිතින්, රාජ්‍යය වෙනුවෙන් සමාව භජනය කරන ලීලාවෙන් රචනයේ යෙදෙන ගුණරත්න, අලස් හා චන්ද්‍රප්‍රේම ගැන අපට කිසියම් හෝ අදහසක් ඇතිකරගත හැකි වුවත් නිදහස් ලේඛකයින් ලෙස පෙනී සිටින ඇතැම් අය මේ මර්ධන කතිකාව තිරස්-සිරස් කරගන්නා ආකාරය තේරුම් ගැනීම අපහසු ය.

අප පරපීඩකත්වයට ආශා කරන සමාජයක් වුවත් මෙය ඊට එහා ගිය වින්දිතභාවයේ නියෝජනය පිලිබඳ ගැටළුවක් ලෙස සිතිය යුත්තකි. බුදු පිලිමයක් ඉදිරිපිට ශ්‍රද්ධාව ඉතිරෙන, අතීත වාරි තාක්ෂණයකින් හික්මුනු අපි දායාද කරගත් සමාජයේ වෙස් මුහුන යටින් ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා භීෂණය විසින් ඉක්මනින් වෙලා ගන්නා රික්තකයකි. එහිදීත් බෙලහීනයා හැකි උපරිම කෲරත්වයකින් පීඩනයට පත්වීම දැකීම හා රසවිඳීම අපගේ විශේෂ ලැදියාවකි. මස්ඉඹුලගේ පොතක් කියෙව්වත් අප වඩාත් ආශා කරන්නේ අව-වරප්‍රසාදිත ගැහැණිය බිහිසුනු ආකාරයකින් මිය යනවා දකින්නය.

එහෙත් මගේ මුල් කාරණයෙන් අවසන් කරන්නේ නම් පත්තරවල වුවද භීෂණය හා වින්දිතභාවය ගැන මෙගා පලකිරීම හෝ එසේ බිහිසුනු මරණ අත්කරගත් වුන් ප්‍රදර්ශණ භාණ්ඩ කිරීමේ භාවිතය අවසන් කිරීමට කාලය මෙය යැයි සිතේ. 1971 කැරැල්ල අවසන් වී දැනට අවුරුදු 49 කි. 88-90 මර්ධනයට අවුරුදු 30 කි. ඊලාම් විමුක්ති සිවිල් යුද්ධය අවසන් වී වසර 11කි. කුමන පාර්ශවයකට අයත් වුවත්, අප අතර කුමනාකාරයේ මතගැටුම් තිබුනත් වින්දිතභාවය හා එහි නියෝජනය සම්බන්ධ භාෂාව හා ප්‍රවේශය තුල වින්දිතයා බලාත්මක කල යුතුය. ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුම හා ආචාර ධර්ම අප නිෂ්පාදනය කරගෙන බෙදාහදා ගත යුතුය.

නිදහස් වූවන් සහ ඒ ගැන ලියූ උන්: දෙවන කැරැල්ලේ විත්තිකරුවන් එයින් වසර තිහකට පසුව.

88-90 භීෂණ සමය විමර්ශණය කිරීමේදී අපට හමුවන මුඛ්‍ය කෘතීන් කිහිපයක්ම ඇත. මේ ඇතැම් ඒවා ජනප්‍රිය ධාරාවේ පරිශීලනය වන අතර ඇතැම් අනෙක් කෘතීන් පර්යේෂණ හා ශාස්ත්‍රීය අංශවල වැඩියෙන් භාවිතයට ගැනෙන, පුස්තකාල හා ක්ෂේත්‍රය පිලිබඳ විශේෂ අවධානයක් ඇති අය අතර වැඩියෙන් ගැවසෙන පොතපත වේ.  ඒ.සී අලස්, සී. ඒ චන්ද්‍රප්‍රේම සහ රොහාන් ගුණරත්න තිදෙනා විසින් 1990-1991 අතර දී ලියා පලකල “කැරැල්ලේ අභ්‍යන්තර කතාව” කියවෙන බවට ඔවුන් විසින්ම සඳහන් කරන කෘති තුන මෙයින් මූලික වන අතර 1987-90 සන්නද්ධ අරගලය පිලිබඳ ඕනෑම පර්යේෂණයක ග්‍රන්ථාවලියේ නිරතුරුව සඳහන් වන්නේය. ඒ අනුපිලිවෙලින් The JVP 1969-1989 (ජවිපෙ 1969-1989), Sri Lanka: The Years of Terror. The JVP Insurrection 1987-1989 (ශ්‍රී ලංකාව: භීෂණයේ වර්ෂයන්. 1987-1987 ජවිපෙ කැරැල්ල) සහ Sri Lanka. A Lost Revolution? The Inside Story of the JVP (ශ්‍රී ලංකාව. පරාජිත කැරැල්ලක්? ජවිපෙහි අභ්‍යන්තරික කතා පුවත) නම්වන මෙම කෘතීන් දැඩි රාජ්‍ය-හිතෛෂීබවකින් ලියවී ඇති අතර, රාජ්‍යය සාධාරණීකරණය කරන, වින්දිත හා අගතියට පත් පාර්ශවය නියෝජනය කිරීමට අපොහොසත්වන, සහ එවැනි නියෝජනයක් ගැන නොසිතන පඨිතයක් නිර්මාණය කරන ලෙස අප විසින් හඳුනාගනු ලබයි. ඒවා විසින් එකිනෙකා උද්දීපනය කරනු ලැබීමත්, අන්‍යෝන්‍ය රැඳියාවක් දැක්වීමත් විශේෂයෙන් පෙනී යයි.

අලස් නොසලකා හරින්නේ නම්, අවම වශයෙන් චන්ද්‍රප්‍රේම හා ගුණරත්න යන දෙදෙනාටම වධකාගාර, රාජ්‍ය මර්ධනය හා රාජ්‍යය විසින් සපයා ගන්නා “අභ්‍යන්තර විස්තර” දැනගැනීමේ මාර්ග හා කවුළු තිබුනු බව ඔවුන් තම ලේඛනයන් ඉදිරිපත් කරන ආකාරයෙන් පැහැදිලිය. ඇතැම් වධකාගාර විස්තර, ජවිපෙ ඉදිරිපෙල හා දෙවනපෙල ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට පත් ආකාරයන්, ඔවුන් මරා දැමුනු ආකාරයන්, ඔවුන් මරණ මංචකයේදී දැක්වූ ප්‍රතිචාරයන් ආදී සංවේදී මෙන්ම රහසිගත තොරතුරු මොවුන් ප්‍රාථමික හෝ ද්වීතියික මට්ටමින් ගවේෂණය කර ඇති බව හඟවයි/හැඟවේ. එනමුත් ඔවුන්ගේ කරුනු ඉදිරිපත් කිරීමේදී කිසිදු අවස්ථාවක මෙම ඝාතනවලට අණදුන් අය හෝ ඝාතකාගාර පවත්වාගෙන ගිය අය පිලිබඳ හෙලිකිරීම් සිදුවන්නේ නැත. කරුනු ගවේෂිත අවස්ථාවක, විස්තර තමා සතු තත්වයක් යටතේ වුවත්, පාර්ශවීය ලෙස තම කතාපුවත ඉදිරිපත් කරමින්, රාජ්‍යයත්, රාජ්‍ය භීෂණයත් ආරක්ෂාවන ආකාරයට “ජවිපෙ භීෂණයේ අභයන්තර කතන්දරය” ලිවීමට ඔවුන් සවිඥානිකවී ඇත. ඒ සඳහා අනුග්‍රහය මෙන්ම අවසරය ද ඔවුන්ට ලැබී ඇත.

Ck6GiF8WUAA2iyY90 මුල කාලයේදීම ලියවෙන්නට ඇතැයි සැලකිය හැකි, 1995 දී පිටපත සම්පූර්ණ කෙරුනු, 1998 දී මුද්‍රණයක් ලෙස පිටවුනු ප්‍රින්ස් ගුණසේකරගේ A Lost Generation. Sri Lanka in Crisis. The Untold Story (අහිමිවුනු පරපුරක්. අර්බුදයක නිමග්න ශ්‍රී ලංකාව. නොකියූ පුවත) ඉහතින් සඳහන් රාජ්‍ය-හිතෛෂී ත්‍රිත්වයට විකල්ප ප්‍රවේශයක් ගන්නා, ඒවාහි එන ඇතැම් කරුනු ඛණ්ඩනය කරන්නට යෙදෙන එකකි. රාජ්‍ය මර්ධනයෙන් බේරී ලන්ඩනයට පලා යන ගුණසේකර තම පිටු 778ක කෘතිය පුරාවට ප්‍රශ්ණකර සිටින්නේ 1977-87 දශකය තුල රාජ්‍යයේ ක්‍රියාකාරිත්වයත්, ජවිපෙ දෙවැනි කැරැල්ලට මාර්ගය විවෘත කරදෙමින් ඒකාධිපතිත්වයකට හා අධිපතිවාදයකට රට යොමුකල (එසේ කල බවට ගුණසේකර තර්ක කරන) ජේ. ආර් ජයවර්ධන පාලනයත්ය. 77-87 දේශපාලන සන්දර්භය තුල 71 කැරැල්ලෙන් පසුව ජවිපෙ ස්ථානගතවන ආකාරයත්, ඔවුන් 1976-83 අතර දක්වන වෙස්ට්මින්ස්ටර් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඇති නැඹුරුවත්, 1983න් පසුව ක්‍රමයෙන් සෝදාපාලුවට යන සිවිල් අවකාශය තුල විකල්පමතධාරීන්ගේ හැසිරීමත් ආදී ධාරා කිහිපයක් ආශ්‍රය කරගනිමින් ගුණසේකර තම කරුනු දැක්වීම සිදුකරයි. කෘතියේ අවසාන පරිච්ඡේද ගණනාවක්ම වෙන්වන්නේ භීෂණ සමයේ සිදුවුනු මානව හිමිකම් උල්ලංඝනයන්, ඒවාට රුකුල් දුන් අය, එම අවස්ථාවන්හිදි නිලලත් හා නිලනොලත් අවිගත් පිරිස් කටයුතු කල හා ඔවුන් මෙහෙයවුනු ආකාරයත් ගැන විවරණයන් වෙනුවෙනි. අතුරුදහන්වුනු පිරිස් මෙන්ම හමුදා හා පොලිසී විසින් බලහත්කාරයෙන් පැහැරගෙන අත්අඩංගුවේ රඳවා සිටි පිරිස් වෙනුවෙන් ගුණසේකර මූලික වී පවත්වාගෙන ගිය මානව හිමිකම් කේන්ද්‍රය ගැන තොරතුරු මෙන්ම තම සහෘද නීතීඥවරුන් ලෙස “නාදුනන ඝාතකයින්” අතින් මරුමුවට පත්වූ චරිත ලංකාපුර, කාංචන අබේපාල මෙන්ම පොලිස් අත්අඩංගුවේ සිට රෝහල්ගත කිරීමේදී මියගිය නීතීඥ විජේදාස ලියනාරච්චි ගැනද “අභ්‍යන්තර තොරතුරු” ඔහු ඉදිරිපත් කරයි. එම ප්‍රචණ්ඩ මිනීමැරුම් විවේචනය කරයි. ගුණසේකරගේ කෘතියේ විශේෂත්වය වන්නේ ඔහු අවබෝධයට ගන්නා මූලාශ්‍රයන් හා කතෘ-කර්මකාදීන් සමාජයට නිරාවරණය කිරීමට ඔහු දක්වන සක්‍රීය උනන්දුවයි. උදාහරණයක් ලෙස රිචර්ඩ් ද සොයිසා ඝාතන කල්ලිය මෙහෙයවූවා යැයි සැකකෙරෙන රොනී ගුණසිංහ පොලිස් අධිකාරීවරයා රිචර්ඩ් පැහැරගැනීමේ සැලසුම සම්බන්ධව රංජන් විජේරත්න අමාත්‍යවරයා හා කර තිබුනු සංවාදයක් අමාත්‍යවරයා තමාට කී ආකාරයෙන් ගුණසේකර තම කෘතියේ ගෙනහැර දක්වයි. ජවිපෙ සම්බන්ධව යම් ලිහිල් බවක් ඔහු දැක්වූවත්, පක්ෂයක් ලෙස එහි අඩුපාඩු විචාරයට භාජනය කරමින් අදහස් පලකරයි.

prins-gunasekara
ප්‍රින්ස් ගුණසේකර 

භීෂණ සමයේ ක්‍රියාකාරකම් සම්බන්ධ සාහිත්‍යය ඉදිරියට එන්නේ 90 දශකයේ අග හා 2000 දශකය තුලිනුයි. ජවිපෙ මර්ධනයට පසුකලෙක සම්පත්දායකුද වුනු රංජිත් පීරිස් ද ඇතුළු වෙනත් ජනමාධ්‍යවේදීන් හා ගවේෂක ලේඛකයින්ද දායකවුනු විෂමජාතී සාහිත්‍යයක් මේ තුලින් බිහිවී ඇති අතර එය අදටත් ඉදිරියට වර්ධනය වන්නකි. එම පඨිතයට දායකවූවන් සිරිමල් විජේසිංහ වැන්නන්ගේ සිට ප්‍රසන්න සංජීව තෙන්නකෝන් වැනි පරාසයක විහිදී සිටී. අනෙත් අතට මෙම අක්ෂය Journalists for Democracy in Sri Lanka ( ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මාධ්‍යවේදියෝ – JDS) වැනි සාමූහිකයන්ගේ සිට ලොව සියලු ජනිතයන් හා ජනනයන් සරල මනෝවිශ්ලේෂණයට භාජනය කරන වෙබ් රචකයන් දක්වා පරාසයක් පුරාද පැතිරී පවතී. මේ අතරට ධර්මන් වික්‍රමරත්න වැනි පුවත්පත් අතිරේක තුලින් ජවිපෙ මර්ධනය ගැන ලිපි සැපයූ, වඩාත් මෑතකදී ඒ සියල්ල වෙළුම් දෙකකින් යුතු කෘතියක් බවටද පත් කර, එතැනින් ද නොනැවතී කොම්රඩ් ලයනල් (2019) නමින් ලයනල් රණසිංහ සම්බන්ධ කෘතියක්ද ජනගත කල “ප්‍රවීණ මාධ්‍යවේදීන්” ද සිටී.

මේ සියලු දෙනා අතරට යෝජනා කල හැකි රෝහිත මුණසිංහ හා අජිත් පැරකුම් ජයසිංහ යන නාමයන් දෙකද මෙම රචනාවට ඉතා වැදගත් ය. මුණසිංහ විසින් රචිත 2000 වර්ෂයේදී පලකෙරුනු එලියකන්ද වධ කඳවුර කෘතිය ජවිපෙ දෙවනි කැරැල්ල සම්බන්ධව එක්තරා සන්ධිස්ථානයක් බඳු කෘතියකි. විප්‍රවාසීව වෙසෙමින් ලියවුනු මෙය භිෂණ සමයේ වධකාගාර අත්දැකීම් ග්‍රහණය කරගන්නා, ජීවිතය නිරුපද්‍රිතව රැකගැනීමට සමත්වූ වින්දිත වාචකයක් වන අතර සම්පූර්ණ පොතක් ලෙස පලවුනු සාක්ෂි හා ස්මරණ සටහනකි. මාස 8ක කඳවුරු ජීවිතයෙන් මාස 2ක් මාතර බ්‍රවුන්ස් හිල් හෙවත් එලියකන්දේ ගෙවූ මුණසිංහ තම කෘතියට එක්කරන්නේ සිංහ රෙජිමේන්තුවේ තුන්වන බලකාය හා ලංකා කාලතුවක්කු බලකාය යටතේ පවත්වාගෙන ගිය රහස් වධකඳවුරේ ඔහු ප්‍රත්‍යක්ෂ ලෙස අත්දුටු යථාර්ථයයි. 1989 නොවැම්බර් මස 14 වන දින තම නිවසේ සිටියදී ගේ වටලා තමා පැහැරගන්නා තැන සිට 1990 සැප්තැම්බර් පමණ ඔහු ලබන කොන්දේසි සහිත නිදහස අවස්ථවේදී රහසිගතව රටින් පිටුවහල්වන අවස්ථාව දක්වා සිද්ධීන් ඔහු ගෙනහැර දක්වන්නේ එම සිද්ධීන්වලට මුහුන දී දස වසක් ගෙවුනු අවස්ථාවකදීයි. අජිත් පැරකුම් ජයසිංහ එදා එම එලියකන්ද කඳවුරේ සිටි තවත් රැඳෙවියෙක් ය. ඔහු තමාගේ වධකාගාර අත්දැකීම්ද අඩංගු සවයංචරිතාපදානමය-නවකතාවක් කේ-පොයින්ට් නමින් 2018 දී රචනා කරයි. මෙම කෘතිය රචනා කරමින් ජයසිංහ පවසා සිටින්නේ එම කාර්යයට අවුරුදු තිහක්ම ගතවීම පිලිබඳව තමා සතුටුවන බවත්, එදා සිදුවුනු දේ හා එයට පාත්‍ර වර්ගයා ඒ බිහිසුනු මොහොත තුල ස්ථානගතවීම ගැන වඩාත් තුලනාත්මක හා පරිනත කියවිමක් ඔහුට අද තිබෙන බවත්ය. කෘතියට පෙරවදනක් ලෙස මෙම අදහස් දක්වන ඔහු කියා සිටින්නේ “වධක” හා “වින්දිත” යන සෘජු බෙදීමෙන් ඔබ්බ්ට ගිය කියවීමකදී මේ සියලු දෙනාම එක්තරා මොහොතකදී, රටේ එදා පැවති අසාමාන්‍ය හා විපරිත තත්වයන් යටතේ දෙපාර්ශවයකට බෙදීගිය “වින්දිත සමූහයක්ම” පමණක් බවයි.

new-web-Recovered-11
අජිත් පැරකුම් ජයසිංහ

2009 වසරෙන් පසුව, පශ්චාත්-යුධ වාතාවරණය හරහා ඉදිරියට ඇදී එන ප්‍රධාන දේශපාලන බලවේග හා ප්‍රධාන නැඹුරුතා දෙකක් ශ්‍රී ලංකාවේ දැකිය හැකිය. ඉන් වඩා ප්‍රබල කඳවුර සිංහල-බෞද්ධ සේසතක් ඔසවා සිටින අතර බලය ඒකරාශී වූ කේන්ද්‍රගත පාලනයකට බර තබන භාවිතයක් සාධනය කොට ඇති, ජාතික සටන්පාඨ වලින් ඔප වැටුනු දේශීයත්ව ප්‍රස්තුතය නිතරම මෙනෙහි කරන එකකි. මෙහි දෙවන කඳවුර නිතරම බලය බෙදාහැරීම හා බෙදාගැනීම ඇගයුම් කරන, ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී නැමියාවක් එලිපිටම රඟ දක්වන, බහු-ජාතික, බහු-ආගමික විවිධත්වය තම ප්‍රතිපත්ති තුලට ගෙන එන කඳවුරයි. 2019 වසරේ නොවැම්බර් මස පැවැත්වුනු ජනාධිපතිවරණය තෙක් ආ මාවතේ සහ එයින් පසු තත්වය සැලකිල්ලට ගැනීමේදී මෙම රචනයට මුල් වුනු ඇතැම් චරිත තත්කාලීන දේශපාලන ශ්‍රේඪියේ ස්ථානගත වන ආකාරය හා ඔවුන් අද ශක්තිය දෙන ආස්ථානයන් ගැන විමසීමද එක්තරා අතකින් කාලෝචිත යැයි සිතේ.

din-09-02-pg04-R1
පශ්චාත්-යුධ ලංකාවේ වඩාත් පැහැදිලිව මතුවී තිබෙන බල ප්‍රවාහ දෙක අතර නිම්නය

මැතිවරණ සමයට ආසන්න ඉසව්වේදී මාධ්‍ය තුල තම ක්‍රියාකාරිත්වය, ප්‍රවර්ධනය කල අදහස් ආදිය සැලකීමේදී ඉහත සඳහන් කෙරුනු අය අතරින් රෝහිත මුණසිංහ (එදා හිටපු-ජවිපෙ), ධර්මන් වික්‍රමරත්න (ජවිපෙ අගතිය පුවත්පතට ගෙනා, ශ්‍රීලනිප නැඹුරුවක් තිබුනා යැයි යෝජනා කල හැකි), සී.ඒ චන්ද්‍රප්‍රේම (එදා රාජ්‍ය-හිතෛෂී – එජාප) වැන්නන් එක අක්ෂයකට – එනම්, ජාතිකවාදී අක්ෂයට – අද රැස්වී ඇති බවක් දැකිය හැකිය. ඔවුන්ගෙ එදා-මෙදා තුර තිබෙන්නට ඇති මතවාදයන් හා සැකසංකා දුරුවී, දුරස්ථභාවයන් වියැකී එකම වේදිකාවක “දැඩි විනයගත පාලනයක්” පොරොන්දුවන මැතිවරණ පත්‍රිකාව වටා ඔවුන් රැස්වුනා සේය.   මැතිවරණ සමයේදී සක්‍රීයව තම ෆේස්බුක් පිටුව යොදාගත් වික්‍රමරත්න ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන කඳවුරු දෙකටම අගතිදායක පුවත් බෙදාහදාගත්තේ එදා “ජවිපෙ වෙනුවෙන් විත්තියක්” ලෙස අප පිලිගන්නට යෙදුනු පුවත් ලිපිම නැවත නැවත බෙදාගනිමිනි. බල ආකෘතිය සලකන්නේ නම් මෙතනදි වඩා ඒකාකාරී බවක් පෙන්වන්නේ චන්ද්‍රප්‍රේමය. මිලිටරිවාදී යැයි ද දැඩි පාලනයක් යැයිද සාමාන්‍ය විඥානයේ චිත්‍රණය වන ක්‍රමය සමග ඔහු නිරතුරුව සිටින බවක් පෙනේ. මැතිවරණයෙන් පසුව අනුප්‍රාප්තික බල ව්‍යුහය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා නිත්‍ය නියෝජනය ලෙස නම් කෙරුනේද චන්ද්‍රප්‍රේමය. මුණසිංහ මෙහිදී නියෝජනය කරන්නේ ඔහුගේ පරපුරේ ලිහිල් වාමාංශය නොහොත් 80-දශකයේ ජවිපෙට හිතෛෂී වුනු ජවයේ නෂ්ඨාවශේෂයයි. මෙහිදී “ලිහිල්” යන අර්ථනිරූපනයට යොදාගන්නේ න්‍යායට වඩා භාවිතයෙන් සහ සාමාන්‍ය යුක්තිය-අයුක්තිය පිලිබඳ සංවාදයෙන් තම කාඩර්කාරබව සකසාගත් පක්ෂයේ යටි තලයයි.  අජිත් පැරකුම් ජයසිංහගේ නියෝජනය හා භූමිකාව එදා-මෙදාතුර ලිබරල් ධාරාව දෙසට ඇදී ගිය එකකි. මානව හිමිකම්, සමාජ අයිතිවාසිකම්,  බහුජන අයිතිවාසිකම් වැනි ධාරා හරහා නූතනත්වය හා සබැඳි පථයක ගමන්කරන ඔහු සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස සාධනීය වැඩකොටසක් තම මාධ්‍ය භාවිතය හරහා කර ඇතැයි යෝජනා කල හැක. පලමු පරපුරේ බ්ලොග්කරුවෙකු ලෙසත් සමාජ විචාරකයෙකු ලෙසත් පසුගිය දශකයකට වැඩි කාලයක ඔහු නියුක්ත වුනු දේශපාලන මැදිහත්වීමේ පදනම මෙයයි.

ප්‍රශ්ණයක් ලෙස නගා ප්‍රශ්ණාර්ථයක් ලෙස ඉතිරිකල හැක්කක් වන්නේ ප්‍රින්ස් ගුණසේකර අද ජීවත්ව සිටියා නම් ඔහු යෝජනා කරන පාර්ශවය කුමක් විය හැකිව තිබුනේද යන්නයි.

 

 

ලියනගේ අමරකීර්තිගේ “රතු ඉරි අඳින අත”: ඉරෙහි නැමියාව ගැන.

5e047b59aa0dc_Untitled-1-Recovered-Recovered-Recovered-Recoveredඅටවක පුත්තු, කුරුලු හදවත හා අහම්බකාරක හරහා ලියනගේ අමරකීර්තිගේ නවකතාකරු දිවිය හදුනාගෙන සිටි මම ඔහුගේ නවකතා ශ්‍රෙඪියේ පස්වැන්න වන රතු ඉරි අඳින අත (2019) ද ඉකුත් දා කියවීමි. වේගයෙන් කියවාගෙන යා හැකි, පේජ්-ටර්නර් පන්නයේ හුරුවක් ඇති, පාඨක උනන්දුව ඉතා පහසුවෙන් කතාව තුල රඳවාගන්නට සමත් මෙම කෘතිය කුතුහලය, ත්‍රාසය, භීතිය, මානව දයාව, අනුකම්පාව ආදි භාවයන් රැසක් කැටිකොට සංස්ලේෂණය කරන්නකි. ඒ අතරම තත්කාලීන සමාජය ඉතා තියුණු ලෙස විනිවිදින සමාජ කියවීමක්ද අප ඉදිරියෙහි දිගහරින්නකි. නූතන ශ්‍රී ලාංකික සමාජ-දේශපාලන-සංස්කෘතික-මාධ්‍ය හා ඇකඩමික හැඩතල එකිනෙක හා සමපාත කරමින්, ඒවා අතර ඇති නොදුර බවත්, ඒවා එකිනෙක හා ගැටගැසෙමින්, එකිනෙක පෝෂණය කරමින්, සමාජ සාරය උරාගනිමින් පවත්වාගෙන නඩත්තුකරගෙන යන මාෆියා පන්නයේ අවකාශ සමූහයත් අමරකීර්ති තම කෘතිය හරහා මතුකර පෙන්වයි. අනෙක් කාරකයින්ගෙන් විතැන් කර එය ලඝු කර දක්වනවා නම්, රතු ඉරි අඳින අත වඩාත් ප්‍රබලව තම කාචයට හසුකරගන්නේ මේ අවසානයට කී කාරණය නොහොත් උඩුකුරු තෙරපුමකින් හැසිරෙන, විශ්වය තම අණසක යටතට බැඳ හසුරුවන දේශපාලන ව්‍යාපෘතියක පෝෂක අවයවයන් ලෙස එම ව්‍යාපෘතියට රැකවරනය සපයමින් සහ එයින් ප්‍රතිපෝෂණය ලබමින් පරිවාරයේ හැසිරෙන මාධ්‍ය පතාකයින්, ව්‍යාපාරික ප්‍රජාව, ඊනියා බුද්ධිමතුන්, සංස්කෘතිය හා අධ්‍යාපනය මෙහෙයවන්නන් ආදී අක්ෂයන්ය.

ඇකඩමිය සම්බන්ධ අමරකීර්තිගේ විවේචනය ඔහුගේ එදා-මෙදාතුර නිර්මාණ මඩුල්ල විනිවිද යන්නකි. රතු ඉරි අඳින අත තුලින් එක්තරා කූඨාප්‍රාප්තියකට ගෙන එනු ලබන මෙම විවේචනය එක අතකින් අටවක පුත්තු හරහා පන්නරය ලැබූ, කුරුලු හදවත හා අහම්බකාරක හරහා වඩා අඩු ජවයකින් පවත්වාගෙන ආ පහරදීමක තාර්කික මීලඟ අවස්ථාව යැයි හදුන්වාදිය හැක. මුළු රටකම ජීවන රිද්මය තම වචන වලින් හසුරුවන, තම සමස්ත පැවැත්මම ප්‍රවාදයක් හෙවත් “ඇන්ඳීමක්” වන, හා ඒ ප්‍රවාදය මත පිහිටා සමාජයක්ම “අන්දන” මහාචාර්ය මිහිඳුකුලසූරියත් ඔහුව වඩාත් විශාල සමාජ-හැසිරවීම් ක්‍රියාදාමයක සවිඥානිකව නමුත් සියුම් ලෙස යොදවා ඇති ඉත්තෙකු ලෙස භාවිත කරන දේශපාලන හා ආර්ථික “මහත්වරුනුත්”, පොදුවේ ඇකඩමියත්, ඊනියා විදග්ධභාවයත්, දැනුම නැමැති ආයතනික සංස්ථාවත් අමරකීර්ති තම කෘතිය හරහා කම්පනයකට ලක් කරයි. රතු ඉරි අඳින අත හරහා මිනීමරු දේශපාලඥයා, පාතාලයා, කුප්‍රකට ව්‍යාපාරිකයා හා සරසවි ඇඳුරා අතර පරතරය ඉතා බිහිසුනු ලෙස හකුලුවාලීමට කටයුතු කෙරෙන අතර එය හිත හිරිවට්ටන ආකාරයේ සංකෝචනය කිරීමකි. තත්කාලීන සමාජ හා දේශපාලන ප්‍රභූ සමාජය ලෙස අප සාමාන්‍යයෙන් දකින සංඥාව ප්‍රතිවර්තනය කරමින් එම දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ අතීත නිකම්භාවය, පාන්තික හා සමාජ පරිධිය මෙන්ම දේශපාලන බලය ස්ථාපනය කරගත් ගමනේ සැහැසි, රුදුරු, හා දැඩි බව අමරකීර්තිගෙ අවධානයට කේන්ද්‍රීයව හසුවේ.

unnamed (1)
අමරකීර්ති

රතු ඉරි අඳින අත පොදුවේ ජනප්‍රිය ධාරාවේ කෘතියක් ලෙස ඉතා උනන්දුවෙන් හා ආයාසයකින් තොරව කියවිය හැකි වුවත් අමරකීර්ති විෂය සම්බන්ධයෙන් පැවසිය යුතු වැදගත් වෙනත් යමක් ඇත. එනම්, අටවක පුත්තු තුලින් මතුවී කලින්ද සඳහන් කල කුරුලු හදවත, අහම්බකාරක හා රතු ඉරි අඳින අත හරහා එන නිර්මාණ ගමනේදී යම් හේතුවක් නිසා ලියනගේ අමරකීර්ති (එක්තරා ආකාරයකට) තල දෙකක් අතර අතරමං වී සිටින බවයි. ඔහුගේ නිර්මාණකරුවෙකු ලෙස ඇති ප්‍රභවයට හා ශක්‍යතාවයට – මෙම ප්‍රභාවත්බව කෙටිකතාකරුවෙකු ලෙස වඩා සාධනීය තැනක පවත්වා ගැනීමට අමරකීර්ති සමත් බව සිතේ – සාධාරණයක් ඉටුනොවන බවට යෝජනා කල හැකි මෙම සිරවීම විශේෂයෙන්ම දැකිය හැක්කේ ඔහු තම නවකතා වෙනුවෙන් යොදාගන්නා ආකෘතිය තුලයි. අටවක පුත්තු නොසලකා හරින්නේ නම් ඔහුගේ දෙවන හා තුන්වන කෘතිවල ඇත්තේ ජනප්‍රිය ආරට බර තැබුනු, ජනප්‍රිය පාඨකයා මූලිකවම ඉලක්ක කරගන්නවා යැයි සිතෙන, සරල හා රේඛීය ආඛ්‍යානයකින් පන්නරය ලබන නිමැවුමකි. අටවක පුත්තු හි ඇතැම් පර්යේෂණාත්මක ලක්ෂණ බැහැර කරමින් නිර්මාණය වුනු – ඔහුගේ දුර්වලතම කෘතිය ලෙස මම අදටත් දකින – කුරුලු හදවත හරහා පිවිසි කතා කීමේ ශෛලිය හරහා අමරකීර්ත් අදටත් වැඩි අවධානයක් යොදන්නේ තම කතාවට අවශ්‍ය “අවස්ථාවන් සම්පාදනය” කරගැනීමට බව නිතරම හැඟේ. සාහිත්‍යය ඉතා ගැඹුරින් ශාස්ත්‍රීයව අධ්‍යයනය කර ඇත්තෙකු නිසාත්, නිර්මාණකරුවෙකු ලෙස ඔහුගේ ඇති දක්ෂතාවය නිසාත් මෙවැනි ඇතැම් “රසබර අවස්ථා” නිර්මාණකරුවා යොදාගන්නා විවිධ මෙවලම් හා ආකෘතික ආයිත්තම් සමඟ සංස්ලේෂණය කරමින් තම කතාව ඉදිරිපත් කරන්නට ඔහු උත්සාහ දරනු පෙනේ. අහම්බකාරක තුලත් රතු ඉරි අඳින අත තුලත් මෙම සංකලනය දැකිය හැකි අතර කුරුලු හදවත හරහා ලත් බැස්ම තුලනය කරගන්නා ප්‍රවේශයක් මේ හරහා අභිමුඛ වේ.

unnamed
වෙඩිවර්ධන

නමුත් කලින් අවධාරණය කල ශාස්ත්‍රීය ශික්ෂණයත්, සාහිත්‍යය පිලිබඳ දශක ගණනාවක ඔහු කරන විමර්ෂණයත්, ලබා ඇති නිපුණතාවයත්, ඔහුගේ ඇති ප්‍රශස්ත නිර්මාණශීලීබවත් නිසාම මෙයින් ඔබ්බට යන පර්යේෂණාත්මක “යමක්” අප අමරකීර්තිගෙන් බලාපොරොත්තුද වන්නෙමු. වෙනත් ආකාරයකට පවසන්නේ නම් අමරකීර්ති තුල මා දකින්නේ පර්යේෂණාතමක බවින් යම් සාධනීය අදහසක් ඇති කරන අටවක පුත්තු හරහා යොමුව තිබුනු ගමනක් ජනප්‍රිය ධාරාවේ ආකෘතියක අවශ්‍යතා තුල සිරවුනු අවස්ථාවකි. සමකාලීන කෘති දෙකක් ලෙස 2007 දී දොරට වැඩි අටවක පුත්තු හා මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව සලකන්නේ නම්, එදා-මෙදා තුර ගෙවුනු අවුරුදු 13ක පමණ කාලයේදී පර්යේෂණාත්මක ලෙසත්, තම ප්‍රවේශය හා ආකෘතිය සම්බන්ධයෙන් තමාටම හා තම පාඨකයාටද අභියෝග කර සිටින නිර්මාණ ශිල්පියෙකු ලෙසත් වෙඩිවර්ධන ලබා ඇති දියුණුව මගින් අමරකීර්තිව පසෙකට තල්ලු කර හරියි.

රතු ඉරි අඳින අත කියවන අවස්ථාවේදී ඊට සමාන්තරව මා කියවූ අනෙක් එක් කෘතියක් වූයේ වෙඩිවර්ධනගේ දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා කෘතියයි. ආකෘතිය, වස්තු විෂය අරභයා දක්වන ප්‍රවේශය, ආඛ්‍යාණය හැසිරවීම වැනි කරුනු සැලකීමේදී බත්තලංගුණ්ඩුව, මගේ ආදරණීය යක්ෂණි වැනි කෘතින්ද, වඩාත් මෑත කාලයේදී වෙඩිවර්ධන පලකල පැරිස් වලාකුළු හා ඒ අහඹු අතීත හැන්දෑව වැනි නිර්මාණද හරහා ඉතා පුළුල්, බහුවිධ, විෂමජාතී තලයන් ගොන්නක් අතරෙන් තම නිර්මාණයන් මුවහත්කරගැනීමට වෙඩිවර්ධන සාර්ථකව සමත්වී ඇත්තා සේය. ඒ අර්ථයෙන් අමරකීර්ති යෙදෙන්නේ ඇතුලට ඈරුනු, ඇල්මාරුනු ගමනකය.

0_8i8p4eqx763Wokrsකුටීරයක් තුල, නිද්‍රාශීලී තැනක නිර්මාණ ජවය බිහිවන්නේ අඩුවෙනි. අප නිර්මාණ ලෙස සලකන කාර්යයට අවශ්‍ය ජවය කොස්මොපොලිටයානු ඝර්ෂණයකින් ලැබෙන්නකි. ක්ෂේම භූමියක් තුල යම් ආකාරයක සිරවීමකට ලක්වී සිටින, වෙනත් සියයකුත් එකක් ලේඛන කාර්යයන්ගේද නියලෙන අමරකිර්ති “නිර්මාණකරුවකු” ලෙස මද කලකට හෝ පේරාදෙණියෙන් නික්ම, මග සරමින් සිටිය යුත්තේද යන අදහසත් ඇතැම් විට නැගේ. නව්‍යවාදී සාහිත්‍යයේ අග්‍රඵලයෝ, දොස් නගමින් වුවත්, තම නිර්මාණ කරමින් රැඳී සිටියේ පැරිසියේය. ඔහුට පහරදෙන පිරිස බොහෝ අවස්ථාවන්හිදි තම ඉලක්කය කරගන්නේ අමරකීර්තිගේ සාහිත්‍යය නොවන නිසාත්, ඔහුව අගයන්නෝ නිර්ධය ලෙස එම සාහිත්‍යයම කසී සළුවෙන් දවටන නිසාත් අමරකීර්ති සාධාරණ විචාරයකට ලක්නොවීමේ හා විවේචනශීලී පහරකෑමකට නිරාවරණය නොවීමේ ඌනතාවයෙන්ද පෙලෙන්නෙකි. මේ දෙපාර්ශවයෙන්ම තරමක් ඈත්ව, නිරන්තර පහරකෑම් හමුවේ රතු ඉරි අඳිමින්, තම අත මෙහෙයවමින්, පාඨකයා සුරාතාන්තයට ගෙන යන ජනප්‍රිය ආකෘතියෙන් බැහැරව යන දිනක පර්යේෂණාත්මකව සිදුකරන ලේඛනය අමරකීර්ති නිර්මාණකරුවාට වඩාත් දියුණු තලයේදී ප්‍රතිසම්මුඛ වීමට ඉඩ ඇත.

තිත තබන්නේ කොතැනද? රාජසිංහගේ තිලකය හා බැඳුනු ශ්‍රී වික්‍රමය.

අත-පය කුරු වුනු, වමත ඇඹරී ගිය, සිරුරේ පසු භාගය මොල්ලියක් මෙන් මතුවුනු සටන්කාමී අංග චලනයක් දක්වන බෞද්ධ භික්ෂුවකගේ රූපය. එයට යටින් අඳුරු සෙවනැලි මෙන් ඇදෙන ක්ෂුද්‍ර, අවිගත් භට පිරිස. රූපයේ මැදට වන්නට පිහිටි පත්තිරිප්පුවට ඉහලින් දිස්වන බුද්ධ මුද්‍රාව. හැල්මේ අහසේ මතුව තිබෙන සම්ප්‍රදායික ඉර හඳ රූප. බෞද්ධ ධජයට අනන්‍යව චිත්‍රණය වී සිටින දොන් ඩේවිඩ් හේවාවිතාරණ හෙවත් අනගාරික ධර්මපාල. පඩිපෙලක් බැසගෙන එන වර්ණ හා සළුපිලි ගැන්වූ පෙරහැර පන්නයේ ඇතෙක්.  ශ්‍රී වික්‍රම රාජසිංහ යැයි සිතිය හැකි කෙනාගේ තම නායක්කාර් / තෙලිඟු සංස්කෘතිය ඔප්නංවන තිලකය ඩිලීට් කිරීමකට ලක්කර සුදුසු ආකාරයෙන් සිංහලකරණයකට නතුකොට රූපගන්වා තිබෙන රූපය. යටින්ම රේන්දයක් ලෙස චිත්‍රය පාදම හරහට සිතුවම් කොට ඇති වලාකුළු බැම්මකි.  ලංකාවේ උසම බිත්ති චිත්‍රය ලෙසට ප්‍රසිද්ධ කර තිබුනු කටුගස්තොට හන්දියේ තාප්පයක් මත ඇඳ ඇති අඩි 40ක රූප, සංකේත හා සංඥා සමූහයේ මූලිකම වියෝජනය ඉහත ආකාරයේ එකකි.

sdr
“සෙංකඩගලයි, ඉතිහාසයයි, කටුගස්තොට තරුණ කැළයි” ලෙස මෙම මහා වියවුලට යටින් සටහනක් ද දමා ඇති අතර රාජසිංහ රජුගේ රූපය ඉවත් කරන්නේ නම් අතිශය සිංහල හා බෞද්ධ අනන්‍යතා මතුවන ආකාරයේ හැඩතල හා රූ හැඩ වලින් යුක්තය. රාජසිංහ රූපය පවා තම මතවාදී රාමුව තුලට හීලෑකරගෙන ඇත්තේ ඔහුගේ සම්ප්‍රදායික පිලිබිඹුවන්හි කැපී පෙනෙන “සිංහල නොවන” ලක්ෂණ මැකීමකට භාජනය කිරීමෙනි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයට විදහාපෑම, ජනතාවගේ පිබිදීම සැමරීම,  පෝස්ටර්කරුවන්ගේ අණසකට යට වන අයාලේ තිබෙන බිත්ති අලංකරණය කිරීම ආදී ලෙස ඇරඹුනු නගරයේ තාප්පවල චිත්‍ර ඇඳීම හරහා ඉදිරියට විත් තිබෙන සිංහල අධිපති කතිකාවේ මතවාදී ප්‍රකාශනය අද වන විට නගර පුරා බිත්ති බිත්ති පාසා වර්ණ ගැන්වී තිබේ. මෙම සටහනට පාදක වන තාප්ප සිතුවම ඇති කටුගස්තොට වැනි නගර නාරටිය දක්වා බහු-වාර්ගික හා බහු-ආගමික පදනම් සහිත බහු-සංස්කෘතික අවකාශයන්ය. විශේෂයෙන්ම මෙම සිතුවම තිබෙන ලක්ෂ්‍යයේ සිට කිලෝමීටර 5ක පමණ පරිධිය ගන්නේ නම් එයට අදාල උප නගර හා ගම්මාන අතරට මහයියාව, මාවිල්මඩ, මඩවල පාර, මාතලේ පාර, කුරුණෑගල පාරේ ප්‍රදේශ ආදී මුස්ලිම් හා දෙමළ ජනතාව ද බහුලව වෙසෙන වාසභූමි රැසකි. මාතලේ පාර ඔස්සේ අලවතුගොඩ, අකුරණ හරහා මාතලේ දක්වාත්, මඩවල පාරේ දිගටත් ඇත්තේ මුස්ලිම් ජනාවාස බහුල විශමජාති ජන ඝනත්වයකි. මෙවැනි විවිධත්වයක් හා විශමජාති පැතිරීමක් සහිත භූමියක කටුගස්තොට තරුණ කැළ විසින් සෙංකඩගලත් ඉතිහාසයත් චිත්‍රණයට නැගීමේදී වැඩි පරිකල්පනයක් හෝ දේශපාලනික නිවැරදිභාවයක් මත බර තබා නැති බව සිතේ. නිපුණතාවයක් හෝ වෘත්තීයබවකින් තොරව සිතුවම් කොට ඇති බෞද්ධ භික්ෂුව ඉතිහාස චරිතයක නියෝජනයක් දැයි සිතෙන්නේ ඒ හා සමපාත කර ඇති ධර්මපාල හා රාජසිංහ චරිත දෙකම ඓතිහාසික වැදගත්කමක් ඇති නිසාය.

sdr
තිලකහරණිත රාජසිංහ

“සෙංකඩගලයි ඉතිහාසයයි” මැයෙන් නිර්මාණය වුනු තාප්ප චිත්‍රයේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ මකා දමා (අහිමි කර) ඇති තිලකය සමස්ත සිතුවමේම නාභිය යැයි සිතේ. නායක්කාර වංශික, කන්ද උඩරට රාජධානිය පාලනය කල අවසන් රජවරුන් සිවුදෙනාගේ අවසාන පුරුක වන ඔහු තෙලිඟු ජන්මයක් හිමි, ශෛව ලබ්ධියෙන් යුතු, බෞද්ධ සම්ප්‍රදායට අනුග්‍රහය දැක්වූ පරපුරක අයෙකි. ඔවුන්ගේ මුල් බස වූයේ දෙමළ බස වන අතර, (පුරාතන බ්‍රිතාන්‍යයට ප්‍රංශ භාෂාව මෙන්) රජවාසල භාෂාව ලෙස ද භාවිත වූයේද එම බසයි. පරංගීන් ඉලක්කකොට අලි මෙහෙය වන චිත්‍ර, යක්ෂාරූඪ දුනුවායන් කඳු-හෙල් අතරින් දුව පනිමින් සතුරා ඉලක්ක කරගන්නා සිතුවම් මෙන්ම බ්‍රිතාන්‍ය ධජය බිම දමා පාගන කුඩහපොල හිමියන්ගේ රූපය ද නැවත නැවතත් සිතුවම් කර ඇති – නමුත් උඩරට ගිවිසුම කිසිතැනෙක චිත්‍රයට නගා නැති – පරිසරයක් තුල ගිවිසුම් ප්‍රකාරව කන්ද උඩරට සමගින් ලංකාව බ්‍රිතාන්‍යයේ තුන් වන ජෝර්ජ් රජතුමාට පාවා දුන්නේද මෙම ශ්‍රී වික්‍රමවම ආක්‍රමණිකයාට හසුකරදීමෙනි. ඉතිහාසය තුල එක්වරකුත්, තිලකය මැකීම හරහා වර්තමානයේදී දෙවන වරකටත් බිහිසුනු ලෙස අස්ථානගත කර සිටින ශ්‍රී වික්‍රමගේ තෙලිඟු සම්භවය, ශෛව ලබ්ධිය, ථේරවාදී බුදු දහමට ඔහු දැක්වූ අනුග්‍රහය ආදිය හරහා මතුකරගත හැකි ඓතිහාසික චිත්‍රයක් ද වෙයි. එම චිත්‍රයෙන් මෙම තත්කාලීන තාප්ප චිත්‍රයේ සිදුව ඇති තිලකාහරණය හරහා යෝජනා කෙරෙන එහි රචකයාගේ/ අනුග්‍රාහකයාගේ යම් “අපහසුතාවයක්” අර්බුදයට ලක්කරයි. සම්ප්‍රදායිකව රාජසිංහ රූප වල එන තිලකය මේ මහා තාප්ප කැන්වසය මත තබන්නට රචකයා/අනුග්‍රාහකයා මැලි වී ඇත්තේ ඇයි? තමා අනන්‍ය වන හා තමා පණ පොවන සිංහලත්වය හා බෞද්ධභාෂී බව එවැනි අතීත සුසංයෝජනයක් නොඉවසන නිසාද?

King_Sri_Vikrama_Rajasinha_(1780-1832)
රාජසිංහ සම්ප්‍රදායික රූපය

මෙහි එන අනෙත් ඉතිහාස චරිතය දොන් ඩේවිඩ් හේවාවිතාරණ හෙවත් ධර්මපාලය. බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ඉදිරි බලකනුවක් වුනු ඔහු පහතරට “අලුතින් බිහිවූ” ධනපති පන්තියේ පුත්‍රයෙකි. හේවාවිතාරණවරුන්ගේ ආර්ථික හා වාණිජ ශක්තිය ගැන 19 වන සියවසේ නව ධනපති පංතියේ නැගීම ගැන අධ්‍යයනය කර ඇති අයගේ ලේඛන ගණනාවකි. ඔහු භාවිතයේ යෙදූ දේශපාලන මතවාදී ප්‍රවේශය “සුපිරිසිදු ආර්ය” ජනවර්ගයක් උත්කර්ශයට නැගූ, සිංහලත්වය එම ආර්ය සමීකරණය තුල ස්ථානගත කල එකකි. ධර්මපාල ඉදිරියට ආ 19 ශත වර්ෂය අග හා 20 වන ශත වර්ෂය මුල කාලයේදී මෙම ආර්යවාදී උපන්‍යාසය බටහිර පුරා යම් ජනප්‍රියතාවයක් දිනාගෙන තිබුනු අතර විශේෂයෙන්ම ජර්මනියේ ජාතික සමාජවාදී රාමුව තුල සිටි නායකයින්, න්‍යායාචාර්යවරුන් හා විද්වතුන් ද තම ලෝක දෘෂ්ඨිය ලෙස යොදාගත්තකි. උදාහරණ ලෙස ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රවේශය මෙම ආර්යවාදී උපන්‍යාසයේ ආන්තික අවස්ථාවයි.

“සෙංකඩගලයි ඉතිහාසයයි” පහතරට නව වාණිජ පරපුරට භාෂණය කල ආකාරය ඉතිහාස ප්‍රවාද තුලත්, ලිඛිත චරිතාපදාන හා වෙනත් ලියවිලි තුලත් කදිමට අඩංගු වේ. මුහුදුබඩ ප්‍රදේශවල සිට මහනුවරට සංක්‍රමණය වූ ප්‍රභූ, නිර්ප්‍රභූ සැමදෙනා පාහේ ඉතා අපහසු හා අසහනකාරී තත්වයන් යටතේ තම අප්‍රතිහත ධෛර්යයෙන්ම ඉහලට ආ අයයි. මෙයට පහසු උදාහරණයක් සපයන්නේ පහතරට සිට මහනුවරට සංක්‍රමණය වුනු ජෝර්ජ් ඊ ද සිල්වා යි. පසුකලෙක “අපේ ජෝර්ජ්” නමින් මහනුවර පීඩිත හා ආන්තික ජන කොටස් අතර ප්‍රසිද්ධියක් ලබාගත් ඔහු වෘත්තීයෙන් නීතිඥයෙකු වුනු අතර මහනුවර රදළ සමාජයේ මෙන්ම ඉහල පාන්තික වෘත්තීය කවවලත් මුලදී දැඩි අපහසුතාවයකට ලක්කෙරුනු අයෙකි. මහනුවර නීතිඥ සමාජය තුල කොන්වුනු කෙනෙකි. පහතරට ගොවිගම හා දුරාව අන්තර්-විවාහයකින් උපත ලබන ඩේවිඩ් හේවාවිතාරණ රණකාමී චරිතයක් ලෙස ගණනාත් ඔබේසේකර “ප්‍රොතෙස්තන්ත්‍ර බුදු දහම” ලෙස හදුන්වා ඇති, එදා යුගයට සාපේක්ෂව වඩා ආක්‍රමණශීලී, නොඉවසනසුළු සමාජ ශක්තියක් යෝජනා කර සිටි, වාණිජ්‍යය හා සමාජ ප්‍රගමණය හා ඉදිරියට ගෙනා බෞද්ධ සමාජ අනන්‍යතාවයකට රුකුල් දුන්නෙකි. ධර්මපාල රූපය අද නිරායාසයෙන් බෞද්ධ ප්‍රගමණයේ සංකේතයක් ලෙස යොදාගැනුනත් නූතන සිංහල අනන්‍යතාවයේ විකාශනය තුල ඔහු අපූරු සාකච්ඡාවක් මවන බව සිතේ. විශේෂයෙන්ම කුල ගර්වයෙන් විපරිතව සිටි, රට-නොරට භේදය දදයක් මෙන් පාරන මහනුවර (සෙංකඩගල) අනන්‍යතාවය ප්‍රචාරණයට ධර්මපාල රූපයම යොදන්නට වීම යම් ආකාරයක සරදමකි – නැතිනම් චින්තනයේ සීමාවකි.

ලංකාවේ විශාලතම හා උසින් වැඩිම තාප්ප චිත්‍රය මීට වඩා සන්සුන් එකක් වන්නට තිබුනි. වඩා ශිල්පීය නිපුණතාවයෙන් හික්මුනු එකක් වීමට ද තිබුනි. ඉතිහාස චරිත, අලි ඇතුන්, ආයුධ දරන සොල්දාදුවන්, පත්තිරිප්පු ආදී විෂමකාරී අඩුම කුඩුම රැසක් එබූ සලාදයක් නොවී සුමට හා සරළ එකක් වන්නට තිබුනි. මේ මොහොතේ ලංකාව පුරා ඇඳ ඇති විවිධාකාර වුනු තාප්ප චිත්‍රවලටද අදාල මෙම කටුගස්තොට චිත්‍රයටද පොදු “කොක්ක” වන්නේ හිස් අවකාශයක් පුරවාලීමට කුමක් හෝ දේවල් රැසක් එකට එක පිහිටන ලෙස ඇඳීම නිර්මාණයක් බවට ඇති දුර්මතයයි. ඒ දුර්මතය සංකේතාත්මකව පවසන දෙය අද අප සමාජයක් ලෙස ලබා ඇති උද්‍යෝගයේ දිග-පළල අපට හසුකර දෙයි.

R.B. රඹුක්වැල්ල ස්ව-චරිතාපදානය ගැන සටහනක්.

දශක හතරකට ආසන්න කාලයක් මහනුවර, නුවරඑලිය, හැටන්, ගලගෙදරද ඇතුළු ප්‍රදේශ ගණනාවක උප ගුරුවරයෙකු මෙන්ම විදුහල්පතිවරයකුද ලෙස සේවය කර, 1989-97 කාලයේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පති පදවිය දරමින් සිට ස්වයංව සේවයෙන් ඉවත්වූ ආර්.බී. රඹුක්වැල්ල මහතාගේ ස්ව-චරිතාපදානය මතක පෙතේ ඈත සිට මගේ ගමන (2019) ලෙස ප්‍රකාශයට පත්විය. මගේ සම්පූර්ණ පාසල් කාලය ගතකල කිංස්වුඩ් විද්‍යාලයේ පලමු වසර හතම ගෙවුනේ රඹුක්වැල්ල මහතා යටතේ වන අතර, එතුමා පාසල හැර යන්නට ආසන්නම සිදුවීම ලෙස සැලකෙන පාසලේ ඇතිවුනු නොසන්සුන්තාවයකට තුඩුදුන් මහාමාර්ග රිය අනතුරෙන් මිය ගිය පාසල් ශිෂ්‍යයා වන එම්.එන්. පෙරේරා මගේ සමකාලීනයෙකු විය. 1996 අග සිදුවුනු මෙම අනතුරෙන් කෝච් වර්ගයේ බසයක ගැටීම නිසා පාසල ඉදිරියේ පදික මාරුව මතදීම පෙරේරා මියගොස් තිබුනු අතර පසුව ඇතිවුනු නොසන්සුන්තාවයේදී රැස්වුනු පිරිස බස් රථයට ගිනි තබනු ලැබීය. මේ අවස්ථාවේදී රඹුක්වැල්ල විදුහල්පතිතුමා පාසලේ නොසිටි අතර ඔහු යම් රාජකාරී කටයුත්තක් නිසා සිටියේ කොළඹ ගොස්ය. තමා පාසලේ සිටියත් නැතත් පාසල පවතින ආකාරය තම පරිපාලනයේ මිම්මක් ලෙසට එතුමා සැලකූ බව පෙනුනේ, නොබෝ දිනකින්ම ඒ මහතා කිංස්වුඩ් විදුහලෙන් පිටත්ව ස්ථාන මාරු පත්වීමක් ලබාගෙන ඉවත්ව ගිය බැ විනි.

images1
ආර්. බී. රඹුක්වැල්ල

රඹුක්වැල්ල ස්ව-චරිතාපදානය හේතු ගණනාවක් නිසා මගේ අවධානය දිනාගත්තකි. එයින් නිරායාසයෙන්ම ඉදිරියට එන්නේ රඹුක්වැල්ල කිංස්වුඩ් විද්‍යාලයේ ඉදිරිපෙල නායකයාව මගේ පාසල් ජීවිතයේ හරි අඩක් සිටීමත්, එදා ඔහුගෙන් අප දුටු හා – අපව සලිත කරන්නට සමත් වූ – මහා පෞරුෂයත් යන කාරණයන් ය. මුහුණ අඩක් වැසෙන්නට වැවූ ඩේවිඩ් බූන් පන්නයේ උඩු රැවුල සමග, ස්ථාවර හා තීරණාත්මක බවකින් යුතු අඩි තබමින්, ලොව වචන හිඟයක් පවතින්නාක් මෙන් ඉතාම අඩු වචන ගණනකින් සෘජුව අදහස් පලකිරිමේ පුරුද්දක් තිබුනු එතුමා තද විනය පාලකයකුගේ ලක්ෂණ මෙන්ම ඒ බව ක්‍රියාවෙන්ද ඔප්පු කල අවස්ථාද එමට අපි දැක-අසා තිබුනෙමු. මෙම ඓතිහාසික සම්බන්ධයට අතිරේකව සමාජ හා මානව විද්‍යාත්මක කියවීමක් ලෙස, 1960, 70, 80 හා 90 දශක අතරින් ගලා එන රඹුක්වැල්ල කතාන්දරය වෙනස්වන සමාජයක, ඒ හා බැඳී පවතින විවිධ සංස්කෘතික, ආර්ථික, මෙන්ම දේශපාලනික සංරචකයන්ගේ ද කැඩපතක් ලෙස ක්‍රියාකරයි. මේ සැමටත් වඩා අධ්‍යාපනවේදියෙකු ලෙස වසර 40ක ලංකාවේ ග්‍රාමීය, උපනාගරික මෙන්ම මහනුවර වන් නාගරික අධ්‍යාපන කතිකාව විනිවිද යන කියවීමක් මෙම කෘතිය හරහා අපට ඔහු යෝජනා කර සිටියි.

රඹුක්වැල්ල චරිතාපදානය මට වඩාත් වැදගත් වන්නේ මේ සියලු අධ්‍යාපනික කරුණු වලට වෙනස් හා පරිබාහිර තවත් වැදගත් හේතුවක් නිසාය. ඔහු යෙදෙන්නේ සද්භාවී මෙන්ම අභ්‍යන්තරය කළඹවා විනිවිදින ස්ව-චරිතාපදාන රචනයක නම් ස්ව-චරිතාපදාන රචකයා නිතැතින්ම තම පෞරුෂය ලෙස සමාජය ඉදිරියේ තේරුම්ගොස් ඇති ඒ මායාව ඛණ්ඩනය කරන, එය විසංයෝජනය කරන ප්‍රයත්නයක යෙදෙන්නෙකු යැයි අයෙකුට තර්ක කල හැක. හොඳ චරිතාපදානයක් වඩා අසාර්ථක එකකින් වෙන් කර ගැනීමකට ඇතැම් දෙනා මිනුම් දණ්ඩක් ලෙස යොදාගන්නෙත් මෙම ස්ව-විසංයෝජන ප්‍රවේශයයි. පහසු උදාහණයක් ගතහොත්, එදිරිවීර සරච්චන්ද්‍රගේ ඇතැම් සවයං-චරිතාපදානමය ලක්ෂණ සහිත ලියවිලිවල සාර්ථකත්වය විමසීමේදී “තමා” යන අනන්‍යතාවයෙන් විතැන්ව තම පැවැත්ම අධ්‍යයනය කිරීමට හා විශ්ලේෂණය කිරීමට සරච්චන්ද්‍ර දක්වන හැකියාව නිතරම අපට අසන්නට ලැබෙන කාරණයකි. රඹුක්වැල්ලගේ ස්වයං-චරිතාපදානයද අඩු-වැඩි වශයෙන් එවැනිම ප්‍රවේශයකින් ශික්ෂණය වී ඇති බව අපගේ අවධානයට යොමුවෙයි. විශේෂයෙන්ම තම වෘත්තීය හා පෞද්ගලික ජීවිතයේ සිදුවුනා යැයි රඹුක්වැල්ල තීරණය කරන අඩුපාඩු හා වැරදි යොමුවීම් ගැන කෙරෙන සාකච්ඡාවලදී මෙම කාරණය වඩා හොඳින් දැකිය හැකිය. නමුත් රඹුක්වැල්ලගේ චිත්ත අභ්‍යන්තරය නිරාවරණය වන අවස්ථාවක් පාසා අප කුඩා පාසල් ළමුන් ලෙස මතුපිටින් දැක, අසා, ප්‍රත්‍යක්ෂයට හසුකරගෙන තිබුනු රඹුක්වැල්ල නම් මායාව/ප්‍රවාදය ක්‍රමක්‍රමයෙන් අවලංගු වී, දියවී යයි. ඉතාම දැඩි, ආඥාදායක හා බිහිසුනු භූමිකාවකට පණ දුන් මෙන්ම එම චරිතයට අවශ්‍ය වේශයෙන් ආරූඪ වී සිටි රඹුක්වැල්ලගේ අභ්‍යන්තරය පෙලූ සාධකයෝ එදා අපට ග්‍රහණය කරගැනීමට නොහැකි වූයේ කෙසේද, ඒවා මතක පෙතේ ඈත සිට මගේ ගමන තුලින් තුලනාත්මකව දෘෂ්‍යමාන වීමට පටන් ගනී. ඒ මහා ආඥාදායක ප්‍රවාදයට/මතුපිටට යටින් රඹුක්වැල්ලගේ සිතුවිලි මෙහෙය වූ, ඔහුව ආතතියට පත්කල, ඔහුව පීඩනයට භාජනය කලදේ ද ඇතුලත් වන රඹුක්වැල්ල චිත්‍රය එදා-මෙදා අප මනසේ ෆැන්ටසියක් ලෙස සටහන් කරගෙන සිටි නිර්මාණයද සමගින් අපගේ සමස්ත පාසල් වියම යම් අර්බුදයකට ලක් කරයි.

චරිතාපදානය තුලින් මතුවන රඹුක්වැල්ල ඉතා සංකීර්ණ පෞරුෂයක සුසංයෝගයකි. “පරණ තාලයේ අධ්‍යාපනඥයෙකු” ලෙස තමාව හඳුන්වාගන්නා ඔහු යම් ආකාරයක මිලිටරිමය වටිනාකම් නිතරම මතක් කරදෙයි. සෘජුව කඳ කෙලින් තබා සිටගැනීම ඔහු සෑම පාසලකදීම ළමුන්ට උගන්වන මුල්ම පාඩමයි. ඒ අතරම තම ගුරු දිවිය සමයේදී කැඩෙට් නිලධාරී පුහුණුවක් වෙනුවෙන් වසරක් වැය කරන ඔහු එහිදී කැප කරන්නේ තම සේවා උසස්වීම ලබාගැනීමට අවශ්‍ය පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කරන්නට යොදාගත හැකිව තිබූ වසරයි. ඒ වගේම, පැරණි ආරේ පාඨශාලාවේ අංගයක් වුනු ශිෂ්‍යයන්හට දඬුවම් ලෙස පහරදීම ඔහු පැහැදිලිවම අනුමත කරයි. මෙවැනි ආඥාදායක ලක්ෂණ එක් අතකින් පෙන්නුම් කරන රඹුක්වැල්ල අනෙක් අතින් ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කරන චරිතයක් වන්නේ කිංස්වුඩ් විද්‍යාලයේ ආදි කතෘ ලුවී එඩ්මන්ඩ් බ්ලසේ චරිතයයි.

56410013_2251057458286822_5472915978767564800_o.jpg
රඹුක්වැල්ල මහතා 2019 දී ගයාන් පතිරණ සමග

1989 දී කිංස්වුඩ් විද්‍යාලයට සපැමිණෙන රඹුක්වැල්ල බ්ලසේගේ පොතපත ඇසුරින් බ්ලසේ චින්තනය තේරුම් ගැනීමට උත්සාහ කරයි. එපමණක් නොව, ඒ සාරධර්ම ඉදිරියට පවත්වාගෙන යාමේ කාලීන වගකීම තමා සන්තකයට ගනියි. 20 වන සියවස මුල මතුවුනු ඉතා වැදගත් අධ්‍යපනඥයෙකු වන බ්ලසේ (1861-1951) ද රඹුක්වැල්ල වැනිම සංකීර්ණ චරිතයකි. එක් අතකින් ඔහු රැඩිකල් පර්යේෂකයෙකි. තම තිස් වෙනි වියේදී කුලියට ගත් කාමර පෙලක ආරම්භ කරන, පසුව කිංස්වුඩ් ලෙසට අභිෂේක කරනු ලැබූ, මහනුවර බාලක උසස් පාසල තත්වාකාරව “අධ්‍යාපන පර්යේෂනයක්” බවට හඳුන්වාදෙන්නේ බ්ලසේ මය. එදා පැවති විභාග ඉලක්කකොටගත් දැඩි පීඩාකාරී අධ්‍යාපනයෙන් විතැන්වන සාමූහිකත්වය හා පුද්ගල මෙන්ම සමාජ වගකීම්ද පෙරදැරිකරගත් අධ්‍යාපන ප්‍රවේශයක් ඔහු තම පාසල තුල ස්ථාපනය කල බවට සාක්ෂි ඇත. මෙතෝදිස්ත ක්‍රිස්තියානි පසුබිමකින් පැමිණෙන, මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේද ආදි ශිෂ්‍යයෙකුවන බ්ලසේ කුල, ආගම් හා සමාජ සංස්ථා අතික්‍රමණය කරන “ලාංකික” චින්තනයකින් කටයුතු කල හා ලාංකිකත්වය ප්‍රවර්ධනය කල පුද්ගලයෙකු ලෙස හඳුනාගන්නට හැක. මෙයට කදිම නිදර්ශන සපයන්නේ වාර්ෂිකව බ්ලසේ විසින් සම්පාදනය කරන්නට යෙදුනු, පාසලේ ත්‍යාග දිනයේදී ඉදිරිපත් කෙරුනු “කිංස්වුඩ් පූර්විකා” ගොන්නයි. 1906 තරම් අතීතයේදී පාසල් අධ්‍යාපනය ස්වභාෂා කල යුතු බවට හඬ ගා කියන බ්ලසේ 1911 දී පවසා සිටින්නේ ලංකාවට තමාගේම වන විශ්ව විද්‍යාලයක් අවශ්‍ය බවයි. නිදහස කරා යන ගමනේදී වාර්ගික ඝර්ෂනයන් මතුවන බව 1930 දශකයේදී දකින ඔහු තම පූර්විකාව හරහා කන්නලව් කර සිටින්නේ “කරත්තය ධාවනය කරන රෝදය ගැලවී යා හැකි” බවත් එබැවින් “හෙමින් ධාවනයේ යෙදෙන්නට” ලෙසත් ය. බ්ලසේගේ මොතෝදිස්ත පාසල තම වාර්ෂික ක්‍රිකට් තරඟය පවත්වන්නට යෙදෙන්නේ ඕල්කට් සම්ප්‍රදායේ පාසලක් වන ධර්මරාජය සමගයි.

Blaze-pic.jpg
ලුවී එඩ්මන්ඩ් බ්ලසේ

මේ ආදී ලෙස ඉතා ප්‍රගතිශීලී අදහස් හා ප්‍රවේශයන් ඇතැයි සැලකිය හැකි බ්ලසේ අනෙක් අතට පවතින ක්‍රමය තුලට කාවැදුනු ලක්ෂණ ද ප්‍රකට කලේය. මිලිටරිවාදී භාවිතයන් ප්‍රගුණ හා ප්‍රවර්ධනය කල මුල් කිංස්වුඩ් සමාජය ලංකාවේ මුල්ම පාසල් කැඩෙට් සේනාංක කිහිපයෙන්ද එකකි. මෙහි විශේෂය වන්නේ පාසල කුඩා එකක් වීමත්, ශිෂ්‍ය ජනගහනය අතින් මේරී නොතිබීමත් යන කරුණු දෙකයි. එනමුත් 1914-18 ලෝක සංග්‍රාමයට කැඩෙට් නිලධාරීන් යැවූ ප්‍රධාන පාසල් තුනක් වන, සාපේක්ෂව වඩා පරිනත හා මුල් බැසගෙන තිබුනු රාජකීය, ශා: තෝමස්, හා ට්‍රිනිටි යන ආයතන හා කරට කර සිටිමින් සංග්‍රාම භූමියට දායක වීමට කිංස්වුඩ් ආදි/ශිෂ්‍යයින්ද යොමු කර ඇත. ලෝක යුද්ධ සමයන් දෙක (1914-18, 1939-44) තුල ලියවුනු පූර්විකා තුලින්ද බ්ලසේගේ චිත්ත අභ්‍යන්තරයේ වන යම් මතවාදීමය ස්කිට්සොෆ්‍රෙනියාවක් නිරීක්ෂණය කල හැක. අධිරාජ්‍ය විරෝධී හා ලාංකිකවාදී අදහස් ඉතා චතුරව ගෙන හැර දක්වන ඔහු යුද්ධය හමුවේ අධිරාජ්‍ය-ගැති තැනකට පසුබසිනු අවස්ථා ගණනාවකදීම දැකිය හැක.

නැවත රඹුක්වැල්ල චරිතය වෙත ප්‍රවේශ වන්නේ නම්, බ්ලෙසේ මෙන්ම රඹුක්වැල්ල ද එක එල්ලේ අපට දර්ශනය නොවන, ඔහුගේ ලේඛනය තුලින්ම හඳුනාගත යුතු විසංවාදයන්ගෙන් භරිතබව තේරුම්ගත හැකිය. කලින් ද සඳහන් කල අපගේ ළමාවියට ආරූඪ වී සිටි හා ආඥාදායකත්වයේ මායාවෙන් අප පිනවූ රඹුක්වැල්ලයන් අර්බුදයට යන්නේ තම ලේඛන ක්‍රියාව තුලින් මතුවන – හෙවත්, අප එදානෙදා සම්මුඛවීම් හරහා අත් නොවිදි, අපට නොපෙනුනු, අපට එදා ඒ මොහොතේ කිසි ලෙසකින් අදාල නොවුනු – බහුතල සමස්තයක් අපගේ විමසුමට ලක්වන නිසාය. උදාහරණ ලෙස, ඉතා සෘජු, නොනැමෙන, නොසැලෙන ලෙස චරිතගන්වා ඇති රචකයා ඒ අතරම ගැටුම් අවස්ථා මගහැර යන, පීඩනය (හෝ පීඩකයා) හැරදා යන අවස්ථා ද බහුල වේ. මෙයින් වඩා මතකයේ රැදෙන සිදුවීමක් වන්නේ දේශපාලන හයියක් ද සහිතව හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ උප විදුහල්පති කෙනෙක් ලෙස සේවයට එන උපුල් බණ්ඩාර නම් අයෙකු සමග අනාගතයේදී ඇතිවිය හැකි නොවැලැක්විය හැකි ගැටුමක් පුරෝකථනය කර එතැනින් නික්ම යාමට රඹුක්වැල්ල ගන්නා තීරණයයි. මෙම සිදුවීමත් (මෙවැනි අනෙක් සිදුවීමුත්) 1997 දී එම්. එන් පෙරේරා සිද්ධියෙන් පසුව කිංස්වුඩ් විදුහලින් මෙතුමා පිටත්ව යාමේ සිද්ධියත් සම්මුඛ කරන්නේ නම් තම දැඩි ප්‍රතිපත්තියකට එහා ගිය ආධ්‍යාත්මික-මානසික කාරණයක් ද ඔහුගේ අභිනිෂ්ක්‍රමණයට හේතු වුනේ දැයි මට සිතේ.

රඹුක්වැල්ල මාගේ පාසල් ජීවිතය තුල මෙන්ම කිංස්වුඩ් පිලිබඳ මගේ මතකය තුලත් අද්විතීය මහා පුරුෂයෙකි. මගේ ශිෂ්‍ය ජීවිතයේ අග භාගයේ විදුහල්පති ධුරය දැරූ ආර්. චන්ද්‍රසේකර මහතාට මා දැඩිව ඇලුම් කලත්, ඔහුගේ ඇතැම් සාධනීය දේ මම අගය කලත්, විදුහල්පති භූමිකාවේ පතුලට කිඳා බැසුනු හැඩතලය මා තුල ඉතිරිකලේ රඹුක්වැල්ල ය. ඒ දැඩි හා ප්‍රතාපවත් ලෙස පෙනුනු පෞරුෂ ප්‍රවාදය තුල සැඟව සිටි භාවයන් හා සංකීර්ණතා සහිත මිනිසා හඳුනාගන්නට ලැබීම ඒ පෙර කාලයේ මතකයට එකතු කරන්නේ අපූර්වත්වයක් ම පමණි.

ධර්මන් වික්‍රමරත්නගේ් “කොම්රේඩ් ලයනල්” – කෘතියක සම්පාදනය හා පිලිගැන්වීම ගැන.

ධර්මන් වික්රමරත්න විසින් ඉකුත් සතියේ ලයනල් රණසිංහ පාදක කරගත් ග්රන්ථයක් නිකුත් කර තිබුනි. පොතේ නම – “කොම්රඩ් ලයනල්”. පිටු 432යි. ඡායාරූප 86යි. ලයනල්ගේ නෑදෑ හිතමිතුරන් ද හමුවී, ඔහු අතින් වින්දිතභාවයට පත්වුනු අයගේද අදහස් විමසා ලියූ පොතක් බවට සඳහන් වේ.
 
ලයනල් රණසිංහ කියන්නේ කවුද?
 
download (1).jpg
ලයනල් රණසිංහ (මූලාශ්‍රය: ට්‍රාන්සල්වනියා බ්ලොග් අඩවිය)

ලයනල් රණසිංහ යනු ජවිපෙ දෙවන කැරලි සමයේ දේශප්රේමී ජනතා ව්යාපාරය නොහොත් ජවිපෙ සන්නද්ධ අංශයෙන් යොදවා සිටියා යැයි හඳුනාගත්, පක්ෂයට පූර්ණකාලීනව කැප වී සිටියා යැයි සැලකෙන හිට්මෑන් කෙනෙකි. මුල් පෙලේ ඝාතන 40ක් පමණ සිදුකලා යැයි අවසානයට චෝදනා කෙරුනේ මේ ලයනල්ටය. මේ ඝාතන සියල්ල හෝ ඉන් සමහරක් ඔහු කලා වන්නටත් පුළුවන, එසේ නොකලා වන්නටත් පුළුවන. ඔහුට චෝදනා ගොනු කරන්නන් පවසන්නේ සත්යයක් නම් 87-90 තුල සිදුවුනු ප්රභූ ඝාතන රැසක කර්තෘභාගය අයත් වන්නේ ලයනල්ටය. ඒ අතර ස්ටැන්ලි විජේසුන්දර හා විජය කුමාරණතුංග ඝාතන ද ඇතුලත් ය.

මේ ලයනල්ව මිය යැවෙනවා. ඒ සිදුවන්නේ ඔහුව අත්අඩංගුවෙ තබාගෙන ප්රශ්ණ කෙරුනු අය අතින් හෝ ඔවුන්ගේ අනුදැනුම අනුවයි. ඝාතන 40කට වරදකරු යැයි හඳුනාගත් කෙනෙක් එසේ මියයාමම බරපතල ගැටළුවක් වුවත් එය මෙතනදී පසෙකින් තබමු. ධර්මන්ගේ පොත පලවන්නේ මේ සියලු සිද්ධි වලට අවුරුදු 30කට පසුව ජනාධිපතිවරණයක් ආසන්නයේදීයි.
 
එම ජනාධිපතිවරණයේදී එක් පාර්ශවයක් නියෝජනය කරන්නේ ලයනල් රණසිංහ මියගිය සමයේ රාජ්ය නායකයා වී සිටි රණසිංහ ප්රේමදාසගේ පුත්රයාය. තවත් පාර්ශවයක සිටින්නේ ලයනල් අයත්ව සිටියා යැයි කියන සන්නද්ධ ව්යාපාරයේ මවු ශාඛාව වන ජවිපෙයි. තුන්වන ප්රධාන පාර්ශවය වන්නේ ධර්මන් හූමිටි තබන හා ප්රසිද්ධියේ පෙනී සිටින පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටුවයි.
 
ධර්මන් කියන්නේ කවුද?
 
80 දශකය හරහා කරලියේ ඉදිරියට ආ ධර්මන් වෘත්තීය පුවත්පත් කලාවේදියෙකි. දිවයින පුවත්පත හරහා ප්රසිද්ධියට හා ජනාදරයට පත්වුනු අයෙකි. වඩාත් මෑත කාලයේදී භීෂණ සමය ආශ්රිත “අප්රකට” කතා සම්පාදනය කරමින් යම් අවකාශයක් සකසාගත්තෙකි. පුවත්පත් ලිපි මෙන්ම ප්රකාශිත ග්රන්ථ ලෙසද ඔහු මෙම “යටගිය කතා” ඉදිරියට ගෙනවිත් ඇත. විශේෂයෙන්ම 87-90 කැරැල්ලේ (කැරලිකරුවන් මූලිකවන අයුරින්) වින්දිතභාවයට පත්වූවන් ඉස්මතු කෙරෙන විග්රහයකට ඔහු දායක වී ඇතැයි කිව හැක. “ජවිපෙ දෙවන කැරැල්ල” කෘතිය මෙහිදී මූලික වේ (මෙහි දෙවන වෙළුම – “සටනින් සටන” – මා තවම කියවා නැත).
මෙම කැරැල්ල සම්බන්ධවම ඉතිහාසයක් ලියූ ඒ.සී. අලස්ගේ මෙන්ම එහා “සත්ය අභ්යන්තර කතාව” ලියූ බවට කියන රොහාන් ගුණරත්න හා සී.ඒ චන්ද්රප්රේම සමග සැසඳීමේදී ධර්මන්ගේ විග්රහය ස්ථානගත වන්නේ වඩාත් නිර්-ප්රභූ තැනකයි. අර මුලින් කී තිදෙනා රාජ්ය-හිතෛෂී, ජවිපෙ-විරෝධී අක්ෂයක සිට ලියන බව බැලුබැල්මට පැහැදිලි දෙයකි. එහෙත් ධර්මන්ගේ වේදිකාව මතුපිටින් හඳුනාගැනීම අපහසුය. එය කරලිකරුවන් හා අනන්ය නොවුනත් ඔවුන් ගැන සහකම්පනය උපදවන්නකි. එදා පැවති එජාප ආණ්ඩුවට විරෝධීබවට අදහසක් මතුවුනත් එය ව්යංගයෙන් මිසක් සෘජුව මතුවන්නක් ද නොවේ. පෞද්ගලිකව ඔහුව නොහඳුනන, ලේඛන අතරින් පමණක් ඔහු ගැන දකින මම ධර්මන්ව ස්ථානගත කලේ ශ්රී.ල.නි.ප අදහසක් ඇත්තෙකු ලෙසටය.
hqdefault
සිරස “පැතිකඩ”ට සම්බන්ධවන ධර්මන් වික්‍රමරත්න

ධර්මන්ගේ “කොම්රඩ් ලයනල්” පොත නොවැ 5 වනදා එලිදැක්වූයේ කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැත්වුනු උත්සවයකිනි. මෙහි ප්රධාන කතිකයකු වන්නේ චරිත හේරත් ය. පොත පිලිගැන්වීම ඩලස් අලහප්පෙරුමටය. ඩිව් ගුණසේකරටද කතාවක් ලැබේ. ඩලස් යනු වත්මන් පොදුජන නොහොත් පොහොට්ටු වේදිකාවේ ඉදිරිපෙල කෙනෙකි. චරිත හේරත් එම කඳවුරේ ඉත්තෙකි. දෙදෙනාම රාජපක්ෂවාදී ඒජන්තයන්ය. මේ අද ධර්මන් එකතු වී සිටින දේශපාලන අක්ෂය බැවින් මෙවැනි තෝරාගැනීම් අහඹු හෝ අභව්ය ඒවා නොවේ.

එජාප ආණ්ඩු සමයක ජවිපෙ හා සම්බන්ධව සිටි මනුස්සයෙක් ගැන අද පොහොට්ටුව සමග කඳවුරුගත වී සිටින අයෙක් ලියන කෘතිය තුල ලයනල් රණසිංහව අප හඳුනාගන්නේ කෙසේද? එලෙසින්ම, ධර්මන් මෑත කාලයේදී තම (සමාජ) මාධ්ය භාවිතය හරහා සිදුකරන පොහොට්ටු ප්රවර්ධන ව්යාපෘතියට සමගාමීව මෙම කෘතිය මේ මොහොතේ ප්රකාශයට පත්කිරීම අප ස්ථානගත කල යුත්තේ කෙසේද? මට නැගෙන ප්රධානම ප්රශ්ණ දෙක වන්නේ මේවායි. එවිට, අර කලින් අප හඳුනාගෙන සිටි ධර්මන්ගේ “නිර්ප්රභූ” හා “වින්දිත-වාචක” ප්රවේශය අපගේ කියවීමේ අඩුපාඩුවක්ද? නැතිනම්, ධර්මන් 2016 වන විටත් සිටි තැන හා වලංගුවන, ඔහු අද සිටින අක්ෂය හා අනන්ය කල නොහැකි තත්වයක්ද?
 
අන්තර්ගතය කෙබඳු වුවත්, ලයනල් රණසිංහ ගැන ලියවුනු පොතක් එක් දේශපාලන කඳවුරක් — එමෙන්ම ලයනල් සාධකය සංඥාවක් ලෙස ගෙන සෘජුව සම්බන්ධ විය නොහැකි පිලක් — වෙත පිලිගැන්වීම ගැටළුසහගතය. එම පිලිගැන්වීම හා ආසන පැනවීම තුලින් කෘතිය අනවශ්ය ලෙස දේශපාලනීකරණය කරන අතර දැනට කෙරීගෙන යන මැතිවරණ ව්යාපෘතිය තුලටද එය කාවද්දනු ලබයි. ධර්මන්ගේ මැතිවරණ සමාජ මාධ්ය භාවිතය තුලත් “ප්රති-ප්රේමදාස යුගයක” හා “මිනීමරු ජවිපෙ අතීතයක” බිල්ලන් මවන පෝස්ට් දමන නිසා මේ තත්වය වඩාත් තීව්ර වේ.
 
මම මේ දිනවල “කුසල් මෙන්ඩිස් සංසිද්ධිය” (මෙය වෙනමම විස්තර කල යුතුය) ගැන පොතක් ලියමින් සිටින්නෙමි. එය පිලිගැන්වීම මෙන්ඩිස් පාර්ශවයේ කෙනෙකුට හෝ ඔහුව බයිට් එකට ගනිමින් ඔහුව අගතියට පත්කරමින් දිගින් දිගටම මීම් හදන දාහක් දෙනාගෙන් කෙනෙකුට ආරාධනය කිරීමට අදහස් කරගෙන සිටියෙමි. නමුත් ඒ සඳහා වික්රමබාහු කරුණාරත්න මහතා ගෙන්වීම තවත් විකල්පයක් බව මේ “කොම්රේඩ් ලයනල්” සිද්ධියෙන් මට ඒත්තු ගොස් ඇත. අවම වශයෙන් ඔහු තවත් කොම්රඩ් කෙනෙකි.

ලංකාවේ වැඩි අයිතිය කාටද?

ලංකාවේ සිටින ප්‍රධාන ජන වර්ග කියන ලයිස්තුව මුලින්ම ලියන්නට සිදුවුනේ කවදාදැයි හරියටම මතක නැතත් ඒ ප්‍රාථමික පන්තියක විය යුතු යැයි සිතේ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා වෙනත්. ඔය “වෙනත්” කියන කුලකය කිසි දවසක නිර්වචනය නොකලත්, මැලේ, ජා, කෆීර්, පාසි, චෙට්ටි ආදී විවිධ ජන කණ්ඩායම් වලින් පැවත එන අය එයින් නියෝජනය වනවා යැයි සිතිය හැක. මෙයට විකල්පව, මැලේ හා ජා ජාතිකයින් මුස්ලිම් ගොනුවට දමා ද, චෙට්ටි වැන්නන් දෙමළ ප්‍රජාව හා අනන්‍ය කොටද සලකන අය සිටිති. මේ කුමන ආකාරයට කාරණයට ප්‍රවිශ්ඨ වුනත්, අදාල නිගමනය වන්නේ මේ රටේ වෙසෙන මිනිස්සු බහුවිධ අනන්‍යතාවයකින් යුක්ත බවයි.

main-qimg-a3588deef02eb629bb3c07028eeff2b8
ප්‍රධාන ධාරාවේ එන ලංකාවේ සහවාදිබව පිලිබඳ පරමාදර්ශී චිත්‍රණය

ඉතින් මෙවැනි තත්වයක් තුල නිදහසින් ද වසර 70ක් ගෙවෙන මේ මොහොතේ ලංකාව නැමැති දූපත “සිංහල හා බෞද්ධ” රටක් බවටත්, එය එසේ නොව, එය “එහි වෙසෙන සෑම ජන වර්ගයකටම අයත් රටක්” බවට පැවසීමත් හේතු කොටගෙන තර්කයක් පැවතිය හැක්කේ කෙසේද? ඊටත් අමතරව, වසර 70ක දේශපාලන විපරිතයක් තුල විකල්ප හොයන ජනතාව සහ එසේ විකල්ප ලෙස ස්ව-කැමැත්තෙන් ඉදිරිපත් වෙන ඇතැම් දේශපාලන චරිත මේ අබුද්දස්ස ස්ථාවරය ඉදිරියේ විකල් වී ඇත්තේ ඇයි?

ලංකාව “සිංහල බෞද්ධ රටකි” යන්න සිංහල-බෞද්ධ ජාතිකවාදයෙන් මතුවන ආවේගයකි. “මේ රට සිංහල බෞද්ධයාගේ රටයි”. “මේ රට හැර වෙන රටක් සිංහල බෞද්ධයාට නැත”. “මුසල්මානුවාට අරාබියට යා හැකිය. දෙමළාට ඉන්දියාවට යා හැකිය. ඒත් සිංහලයාට? ඌට ඇත්තේ මේ ලංකා මාතෘ භූමිය පමණයි”. ඔය කතාව මට මතක හැටියට මා මුලින් ඇසුවේ 80 දශකයේ අග භාගයේය. ඒ 1988 හෝ 89 යැයි මතකයක් ඇත. ළදරු වියේ සිටි මට ඒ කතාවේ ඇති ළදරු බව ඒ මොහොතේත් අවබෝධවුනු බව හොඳටම මතකය. ඔය කතාව මට එදා කීවේ අප එකල පදිංචිව සිටි නිවස යාබදව තිබුනු වත්තේ අත්උදව් දුන් සාමාන්‍ය ගැමියෙකු විසිනි. ඒ, ගමේ යම් වත්කමක් තිබුනු නිවෙස්වල පමණක් රූපවාහිනියක් තිබුනු, ගමේ කඩේ අසල සෙනග ගැවසුනු, පාරේ බස් එක එනතුරු මිනිස්සු බලා සිටි, ත්‍රී රෝද රථ කර්මාන්තයක් නොතිබුනු, තම දරුවන් ටියුෂන් පන්ති අඩුවෙන් යැවූ සමාජයක ගැමියෙකි. මේ ගඩොල් භාගෙ ජංගම දුරකථනය එන්නට අවුරුදු දහයකට පමණ පෙර කතාවකි. මම පළමු වරට පරිගණකයක් භාවිත කරන්නට අවුරුදු දොලහකට පමණ පෙර තත්වයකි. ස්මාර්ට් තාක්ෂණය සමාජය වෙලාගෙන, 4-ජී තත්වයේ සමාජ රටාවක් අඩු-වැඩිය සහිතව අප ඩවුන්ලෝඩ් කරගැනීමට අවුරුදු විසි පහකට පමණ පෙර, ඔස්ට්‍රෙලියාවේ සිටි මුළු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනගහණය 22,283ක් පමණක්ව තිබුනු යුගයක, මහනුවර දොඩම්වල ගමේ ගැමියෙකු ලංකාවේ පේටන්ට් බලපත්‍රය දුටු ආකාරයයි.

645x344-7-suicide-bombers-behind-6-sri-lanka-blasts-investigator-says-1555917138562
අර්බුද සමයන්හිදි නැවත නැවත සටන් පාඨයක් සහ ජනතාව කුපිත කිරීමේ ප්‍රවේශයක් ලෙස මතුවන දූපත සම්බන්ද පේටන්ට් බලපත්‍රය ගැන ගැටළුව ලංකාවේ ඉදිරි ගමනට විශාල තිරිංගයකි. 

ලංකාව පත්වී ඇති දේශපාලන සමාජ අර්බුදයේ එක් ධමනියක් වන්නේ රටේ බහුතරය වන සිංහල බෞද්ධයන්ගේ හීනමානයන් හා මනෝවිකාරයන් දේශපාලන තත්වයක් ලෙස පවත්වාගෙන යාමත්, ඒවායෙන් තම බලය සදහා වන ව්‍යාපෘති ජවසම්පන්න කරගැනීමට ප්‍රධාන ධාරාවේ පක්ෂ නැවත නැවතත් ක්‍රියාකිරීමත් ය. මෙයට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අතීත ජවිපෙත් එක ලෙස වගකිව යුතුය. ප්‍රධාන ධාරාවේ පක්ෂ 50-60 දශකයන්හිදි මහා ජාතියට බර ප්‍රතිපත්තිවලට යන අවස්ථාවේ ඉතා තියුණු ලෙස ඒවාහි පලවිපාක ප්‍රක්ෂේපනය කර පෙන්වූ වාමාංශික පක්ෂ ද 70 දශකය වන විට ජාතිය මුල්කරගත් කරුණු දක්වා පසුබැස්සහ. හිතේ දුකට අප සිංගප්පූරුවක් වීමට කතා කලත්, අප කල කී දේ අනුව විවිධත්වය එක ලෙස ආරක්ෂාවන, වාර්ගික අනන්‍යතාවය එක් රාමුවක් තුල එකාගේ මෙන් තහවුරු වන ක්‍රමයක් සකසා ගැනීමට නිදහසින් පසුව අප රටක් ලෙස අසමත් විය.

his_clip_image002_0002
ලංකාව ලෙස අප හදුන්වන දූපතට ඇති ප්‍රවේශ මාර්ග කිහිපයක් සහ ඉතිහාසය පුරාවට කලාපීය බලවතුන් වූවන්ගේ අවධානය ඒ වෙතට යොමුවුනු මුහුදු මාර්ගයන්. 

ලංකාව ඉදිරියේ තවමත් සිංගප්පූරු සිහිනය ඉතිරි වී ඇත. ඒ සිහිනය නැවත නැවත තැටියක් මෙන් අප ඉදිරියේ වාදනය කර පෙන්වන දේශපාලන චරිත ද අපට හිඟ නොවේ. නමුත් අප ඉදිරියේ යමා මහ පෙලහර පාන මේ එකඳු ප්‍රාඥයෙකුවත් කටක් ඇර මේ අප ජීවත්වන දූපත එහි වාසය කරන සියළු ජනතාවට එක ලෙස අයිති යැයි පවසන්නේ නැත. උන් එක්කෝ එය වක්‍රාකාරව මඟ හරියි, නැතිනම් ගත් කටටම එය එසේ නොවෙතැයි පවසා සිටියි. ව්‍යවස්ථාව හෝඩි පොත මෙන් උපුටනය කරන, “ජනතාවගේ පරමාධිකාරී බලය” උතුම්කොට සලකන අය පවා පවසන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් බවයි. වාහනයක ආරක්ෂක බැලුමේ සෙන්සරය වැනි සූක්ෂ්ම තාක්ෂණයක් පෙරට දමා දේශපාලනය කරන බැසිල්වාදී විකල්පය පවසන්නේ ජනමත විචාරනයකින් මේ බව පහසුවෙන් විසදාගත හැකි බවයි. “අප දැන් පරිණතයි” යැයි පවසන – මාගේ (නවතම) ව්‍යායාමය කන්නංගර පරපුරට රාජ්‍ය බලය හිමිකරදීම යැයි කියා සිටින – ඇමතිතුමා පවා මේ අදාල කරුණේදී පෙන්වන්නේ වයසින් පරිණත වුනත් රටේ බලපත්‍රය පිලිබද අදහස් තවමත් පරණ ඒවාම බවයි. මේ පුද්ගලයින්ට තම අදහස් දැුරීමට නිදහස ඇතත් අප මෙහිදී තේරුම්ගත යුත්තේ විකල්ප ලෙස පෙනී සිටින මෙවැන්නන්ගේ සීමාවන් සහ ප්‍රසිද්ධ ජාතිවාදී පටු ආකල්ප වලින් බැහැරවීමට ඔවුන්ගේ ඇති නොහැකියාව හා නොකැමැත්තයි.

මේ කාරණා අතර මංගල සමරවීර ඇමතිතුුමා ප්‍රකාශ කර සිටියේ ලංකාව එහි වෙසෙන සියලු දෙනාටම එක ලෙස අයිති බවයි. මේ ප්‍රකාශය පදනම්ව මංගල සමරවීර විරෝධී රැල්ලක් ඇති කරනු ලැබිනි. ජාතිකවාදී හා ජාතිවාදී ගිහි-පැවිදි පිරිසක්ද ඔවුන්ගේ මතය නැවත නැවත ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනද “මහ ජාතියට නොව සියලු දෙනාටම” කියන ප්‍රකාශයට දිගින් දිගමට පහර දෙනු දැකිය හැකිවිය. ඇතැම් භික්ෂූන් සමරවීර වර්ජනයක යෙදෙන බවට තර්ජනය කලහ. අක්‍රෝශ පරිභවයෙන්, සත්තු-සර්පයින්ගේ නම්වලින් පවා සමරවීරව හැදින්වෙන තැනට මේ හිත් රිදිල්ල දික්ගැස්සී ගියේය. මේ අතර සමාජ මාධ්‍යවලින් නිතරම උලුප්පා පෙන්වන භික්ෂුවක් අපූරු ප්‍රකාශයක් කර සිටියේය. ඔහු පැවසුවේ සමරවීරට “කලවම් ලේ ඇති” ය වැනි අදහසකි.

Kos
කොස් ගස

වර්ග කිලෝ මීටර 65,525ක් පමණ වන, ආසියාවේ මෙන්ම යුරෝපයේද බිහි වූ මහා අධිරාජ්‍ය ගණනාවක පරිධියේ ඒවා සමග පරිනාමයට පත්වුනු, පරපුරෙන් පරපුරට ගොඩබැසීම්, වෙළදාම පිණිස යෑම්-ඊම්, සංක්‍රමණ, ආක්‍රමණ හා යටත් කරගැනීම් වලට භාජනය වුනු මේ කුඩා දූපතේ “”කලවම් නොවුනු ලේ” ඇති ප්‍රෞඩත්වයක ගැම්මකින් කතා කල හැකි (භික්ෂුවක් නොවන) කෙනෙක් වන්නේ නම් එතන යම් විපරිත වුනු හිස්බවක් ඇතැයි අයෙකුට යෝජනා කල හැක. විශේෂයෙන්ම අපගේ වැනි සිතියමක “කලවම් බව” විශේෂයක් නොව සාමාන්‍යයම බව මගෙත් අදහසයි. බත ප්‍රධාන ආහාරය වන රටේ අප “බත් ගස” ලෙසට හදුන්වන – එසේ හැදින්වීමට නම් එවැනි ගසක් පරම්පරා විනිවිද යමින් පොදු සංස්කෘතියේ මූලය වෙත අවශෝෂණය විය යුතු ද? – කොස් ගස අපට ආවේණික “දේශීය” ගසක් නොවේ. දූරියන් හා රඹුටන් ද මෙන් එය මලයාවෙන් මේ දූපතට ආවේ යැයි සිතිය හැක්කකි. මේ, ලංකාවේ අපගේ “කලවම්” බව සියුම් ලෙස යෝජනා කර සිටින එක් මෘදු උදාහරණයක් පමණි. මෙවැනි සංස්කෘතිකමය උදාහරණ ඕනෑ තරම් උපුටා දැක්විය හැකිය.

මේ විකාරයන් ප්‍රවර්ධනය කිරීම හා ජාතිවාදී හොල්මන් දේශපාලනයේ නාමයෙන් නඩත්තු කිරීම අවසන් කල යුතුය. රටක පාරම්පරිකව ජීවත්වන සියලු දෙනාහට එක හා සමානව ඒ රටේ උත්තරීතර අයිතිය ඇතිබව කීමට ඇති බිය පහකල යුතු මෙන්ම එය එසේ බව නොබියව පවසා සිටිය යුතුය. දියුණු සමාජයක් වෙත යන ගමනේදී එවැනි සැකයක් පැවතිය නොහැකිය. එය අප ඉදිරි පරපුරේ උරුමය විය යුතු නැත.