ලංකාව හා අයිරිෂ් ජාතිකයාගේ වාසනාව.

ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තය ජයග්‍රහණය කිරීමෙන් පසු, අපේ ඇතමුන් එය හෑල්ලුවට ලක්කරන්නේ එංගලන්ත පිලේ ක්‍රීඩකයින් හය දෙනෙකු පමණ වෙනත් රටවලින් සංක්‍රමණය වුනු හා එසේ පැමිණිවුන්ගේ දරුවන්ගෙන් සමන්විත බව පවසමිනි. ඔයින් මෝගන්, බෙන් ස්ටෝක්ස්, අදීල් රෂීඩ්, මොඉන් අලි, ජොෆ්‍රා ආචර් වැනි අයගේ ඩී.එන්.ඒ හා ආගමන-විගමන වාර්තා සොයමින් මෙසේ පෝස්ට් හදනවුන් එංගලන්තය හඳුන්වන්නේ “වර්ල්ඩ් ඉලෙවන්” යන සමච්චල් නමිනි. අපේ තුන්වන ලෝකයේ හුදී ෆේස්බුක් ජනයා අතර හුවමාරුවන මෙවැනි පෝස්ට් තමා ආශා කරන කණ්ඩායමේ පරාජයේ හෙලුව වසාගැනීමට මූලික වශයෙන් භාවිත වේ. ගේ-දොර අහිමිව, වින්දිතයින් ලෙස කිසිවකුත් නොමැතිව සරණාගතයින් ලෙස මියන්මාරය හා ඇෆ්ගනිස්ථානයෙන් ආවත්, අපේම උතුරුකරයෙන් ආවත් “පිටස්තරයා” හා “අපේ වුන්” ලෙස සෘජු ඉරකින් බෙදා වෙන්කර මානව වර්ගය දෙස බලන අපේ උන් මෙවැනි පෝස්ට් සදා තෘප්තිමත් වීමත් එක් ආකාරයක සරදමකි.

1563242109231
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2019

එංගලන්තය ගැන මූලිකවම සඳහන් කලොත්, සංක්‍රමණික ක්‍රීඩකයින් තම ක්‍රීඩා කණ්ඩායම්වල සිටීම එම රටට හෝ යුරෝපයේ, ඇමරිකාවේ, කැනඩාවේ, ඔස්ට්‍රෙලියාවේ හා නවසිලන්තයේ වැනි වෙනත් දියුණු රටවලද අමුතු හෝ අළුත් තත්වයක් නොවේ. මෙවැනි සංක්‍රමණික පසුබිමක් සහිත ක්‍රීඩකයින් එවැනි රටවල ක්‍රීඩාකිරීම, ප්‍රජාවන් හා පුද්ගලයින් පරිධියෙන් කේන්ද්‍ර වෙත පිවිසෙන අර්ථයෙන් තේරුම්ගත හැකිය. ලංකාව මට්ටමින් දේශීය උදාහරණයක් ගත්තොත් එය හරියට ගමෙන් නගරය වෙත පිවිසෙන තත්වය හා සම වූවකි. උදාහරණ ලෙස එංගලන්ත නායක මෝර්ගන් අයර්ලන්තයේ උපත ලබා, එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරමින්, කෙටි කාලයක් අයර්ලන්තයටද ක්‍රීඩා කොට පසුව නැවත එංගලන්තයට ක්‍රීඩා කරන කෙනෙකි. අවස්ථා හා නැඹුරුව අතින් එංගලන්තයේදී තමන්ට වැඩි අවස්ථාවක් ඇති බව තේරුම් ගෙන එසේ තම වරණයන් සකස්කරගෙන ඇති බව සිතිය හැකි ක්‍රීඩකයෙකි.

මීට අමතරව, තම රටේ අවස්ථාව නොලැබීම නිසා සංක්‍රමණය වන ක්‍රීඩා කුලකයක් ද යුරෝපයේ හා ඇමරිකාවේ බහුලව දැකිය හැක. වත්මන් එංගලන්ත කණ්ඩායමේ මෙවැන්නන් ගැන මට අදහසක් නැතත්, මීට දශක දෙකකට පමණ පෙර දකුණු අප්‍රිකානු සම්භවය තිබෙන ක්‍රිකට් ක්‍රීඩකයින් බහුතරයකට ක්ෂේම භූමියක් වූයේ එංගලන්තයයි. 1960 දශකයේ වර්ණ-භේදවාදය නිසා ලෝක ක්‍රීඩා පිටිය අහිමි නොවන්නට ඇතැම් විට ටෝනි ග්‍රෙග්, ක්‍රිස් හා රොබින් ස්මිත් මෙන්ම ඇලන් ලෑම්බ් වැන්නන් එංගලන්ත වර්ණ යටතේ ක්‍රීඩා නොකරන්නටත් අවකාශ තිබුනි. කෙප්ලර් වෙසල්ස් 1980 දශකය පුරා ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වී ක්‍රිකට් ක්‍රීඩා කරමින්, නැවත 1991 දී තම මව්රටට ප්‍රති-සංක්‍රමණය වී ක්‍රිකට් කණ්ඩායම ද මෙහෙය වීය. 80 මෙන්ම 90 දශකය පුරාවටම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සංක්‍රමණික හා විදේශ සම්භවයකින් යුතු ක්‍රීඩක පිරිස අමුත්තක් වුනු දෙයක් නොවේ. ලෝක කුසලානය දින්නේ නැතත් අප දන්න කාලය පමණක් ගත්තත් සෑම එංගලන්ත සංචිතයකම මෙවැනි ක්‍රීඩකයින් පස් හය දෙනෙකු සිට ඇත. මේ එංගලන්ත ක්‍රිකට්වල තත්වය පමණකි. යුරෝපා මලල ක්‍රීඩා හා පාපන්දු, ඇමරිකානු පැසිපන්දු, නවසිලන්ත රගර් වැනි අප නිතර දෙවේලේ දකින වෙනත් ජාත්‍යන්තර ක්‍රීඩා තරඟවලද මීට වඩා සංකලනය වුනු ක්‍රීඩා කණ්ඩායම් ඕනෙවටත් වඩා දැකිය හැක.

mo-farah-rio-2016
සෝමාලියාවේ උපත ලබා, එරට වෙනුවෙන් තරඟ කොට පසුව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී අප්‍රිකානු රටවල් සමග කරට කර තරඟ කරන මෝ ෆැරා. 

ඇත්තටම මෙසේ මුසු වුනු ක්‍රීඩා කණ්ඩායමකින් එංගලන්තය යුතු වීම සමච්චලයට කාරණයක් වන්නේ අපේ වගේ නොදියුණු, ජාති, ආගම්, කුල, උපන් ප්‍රදේශය අනුව පුද්ගලයින් වර්ග කරන, සරණාගතයින්ට ගරහන, සාමාන්‍යයෙන් මිනිස්සු සංක්‍රමණය නොවන රටකට පමණි. විවිධ හේතු නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සංක්‍රමණයට පුරුදු වුනු ලෝකයට මෙහි ඇත්තේ ගැටළුවක් නොව, ආශ්වාදයකි. කෘත්‍රීමව නිෂ්පාදනය කෙරනු තත්වයන් ජාතීන් අතර විරසක ලෙස සමාජයට මුසු කර, සමාජය ඛණ්ඩනය කිරීම නිසා 80 දශකයෙන් මෙපිට අප බොහෝ විට දුටුවේ සමජාතීය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමකි. ඉන්දියාවේ උපත ලද එංගලන්ත ජාතික නසාර් හුසේන් 90 අග භාගයේ එංගලන්ත නායකයා වන විට ලංකාවේ සිටියේ තම මුස්ලිම් සම්භවය සඟවාගෙන ක්‍රීඩා කරන්නට වුනු ක්‍රීඩකයින් ය. එය පසුකාලීනව වෙනත් විවිධ මුහුණුවර ගනිමින්, රටේ සමාජ පරිහානියේම කැඩපතක් ලෙස මතුවනු දැකිය හැකි විය. පසුගිය අවුරුදු තිහටම ලංකාවේ ක්‍රීඩා කර ඇත්තේ දෙමළ සම්භවයක් ඇති තුන්දෙනෙකි. ඔවුන්ගෙන්ද බැලුබැල්මට දෙමළ-හින්දු පරිසරයක්, නමක් හා පැවැත්මක් ඇත්තේ එක් අයෙකුට පමණි.

වඩාත් මෑත කාලයේ සිදුවීම් කීපයක් ගතහොත්, ඇන්ජලෝ මැතිවුස් ක්‍රිස්තියානුවෙකු වීම නිසා ඔහු නායකත්වයට නොසුදුසු බවට ෆේස්බුක් සංසරණයක් දැකිය හැකිවිය. 2015න් පසු ලංකා කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවා වන හා තම ක්‍රීඩා දිවිය තුල කණ්ඩායමට ඉතා ඉහල මෙහෙයක් සිදුකල මැතිවුස්ට අදටත් අකමැති සැලකිය යුතු පිරිසක් සිටී. ඔවුන්ට අනුව මැතිවුස් දක්ෂ පිතිකරුවෙකු බවට විවාදයක් නැතත් ඔහු නායකත්වයට සුදුසු නැත. මේ අයව මෝහනය කල අවස්ථාවක මෙම අකමැත්තේ මූලය මැතිවුස්ගේ ජාතිය හා ආගම බවට ප්‍රකාශ වුවහොත් එහි පුදුම වන්නට දෙයක් නැති තරම්ය. මෑත කාලයේ තවත් පෝස්ට් එකක සඳහන් වූයේ ලංකා කණ්ඩායමේ “සිංහල නම්” ඇති ක්‍රීඩකයින්ට ඉඩක් නැති බවයි. මෙය අමුතුම ලයින් එකක විපරීත කතන්දරයකි. මෑත කාලයේ කණ්ඩායම තුල සිටි කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, අවිශ්ක ෆර්නැන්ඩෝ, ධනංජය ද සිල්වා, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩර්සේ, විශ්ව ෆර්නැන්ඩෝ වැනි අය සිටීම මෙම කතාවට පාදක වී තිබෙන්නට ඇත. ප්‍රශ්ණය ඇත්තේ මේ නාමධාරීන්ගේ නොව, එම නාමයන් “සිංහල නොවන” බව නිගමනය කරන අයගේය.

the-faull-FEATURED.jpg
වර්ණ භේදවාදය නිසා තරඟ පිටිය අහිමි වුනු දකුණු අප්‍රිකාවේ ඉපිද බ්‍රිතාන්‍යය වෙනුවෙන් තරඟ කරන සෝලා බඩ්, 1984 දී ලෝක මැද දුර ධාවන ශූරී ඇමරිකාවේ මේරි ඩෙකර්  සමග තරඟ කරමින්

පෘතුගීසි ආරෙ නම් තිබෙන සිංහලයින් “අඩුවෙන් සිංහල” බවටත් ඔවුන් “වඩා වැඩි සිංහල” භූමි පුත්‍රයින්ගේ ස්ථාන අරක්ගෙන සිටිනවා යැයි තර්කයක් 80 හා 90 දශක තුල අප දුටුවේ නැත. පෙරේරාලා නොසිටියත් තම නම ද සිල්වා වුනු පමණින් අරවින්ද, ඈෂ්ලි හෝ සුජීව ද සිල්වා පිලිබඳ කිසිවෙකුට ගැටළු තිබුනේ නැත. තිබුනේ නම් ඔවුන්ගේ දක්ෂතාවයන් ගැන පමණි. දුලිප් මෙන්ඩිස් 80 දශකයේ දක්ෂතම නායකයා හා මැදපෙල පිතිකරුවා බවට ගැටළුවක් මතු වූයේද නැත. වඩා විශ්වාසදායක ඉදිරිපෙල පිතිකරුවා රෝයි ඩයස් විය. කලක් අපට සිටි ප්‍රධානම දඟ පන්දු යවන්නා ඩී.ඇස් ද සිල්වා වුනු අතර, අපට සිටි අංක එකේ වේගපන්දු යවන්නා අසන්ත ද මෙල් විය. මීට අමතරව, බ්‍රෙන්ඩන් කුරුප්පුලා, ග්‍රැහැම් ලැබ්‍රෝයි ලා, මාලන් වොන්හෝට්ලා, විනෝදන් ජෝන්ලා සියළු දෙනාද එකම ධජය යටතේ ක්‍රීඩා කලහ.

නැවත එංගලන්ත ක්‍රිකට්වලින් සටහන නිමාකරන්නේ නම්, තරඟාවලිය අවසනදී ඔයින් මෝර්ගන්ගෙන් මාධ්‍යවේදියෙකු ඇසුවේ යැයි කියන ප්‍රශ්ණයක් පිලිබඳ පෝස්ට් එකක්ද මට දක්නට ලැබිනි. එහිදී මාධ්‍යවේදියා ඔහුගෙන් අසා ඇත්තේ එංගලන්ත පිල තරඟාවලිය දිනන්ට හේතුව “අයරිෂ් ජාතිකයාගේ වාසනාව” (“The luck of the Irish”) ද යන්නයි. ඉංග්‍රීසි යෙදුමක් වන මෙහි සාමාන්‍ය අදහස වන්නේ ඉතා අවාසි සහගත අවස්ථාවක් වුවත් සුභවාදීව දැකීමට ඇති යොමුවීම යන්නයි. මෙයට මෝර්ගන් දි ඇති පිලිතුර වන්නේ “නැත – මේ ජයට අල්ලා දෙවියන්ගේ ආශිර්වාදයද හේතුවුනු බව අදීල් රෂීඩ් පවසා සිටි” බවයි. කණ්ඩායම් ජයක් පිලිබඳව ලංකාවේ නායකයා මෙවැන්නක් ප්‍රකාශ කලේ යැයි මොහොතකට සිතන්න. ඔහුගේ පතුරු ගැසීම ජනමාධ්‍ය තුලින්ම ආරම්භවනු ඇති අතර, යූටියුබ්කරුවන්, හු-දී ෆේස්බුක් ජනකාය මෙන්ම ආයතනික ව්‍යුහයන් හරහා බලධාරීන් පවා ඔහුගේ අඳුරුතම හෝරා කීපය ඔහුට උදාකර දෙනු ඇත. ඇතැම් විට ඒ ඔහුගේ අවසන් මාධ්‍ය සාකච්චාව වීමටද ඉඩ ඇත. ශ්‍රී ලංකාව “සිංහල බෞද්ධයාගේ රටක් නොවේ – එය සැමට එක ලෙස අයිති රටකි”යි කීම නිසා මංගල සමරවීර දේශපාලඥයාව කීතු කරමින් නටන නිහින නාඩගම ඊට හොදම මෑතකාලීන උදාහරණයකි. අප ජීවත්වන රට එහි උපන් සැමට එක ලෙස අයත් යැයි තර්කයක් තිබිය හැකිද? ලංකාවේ ඉදිරි දේශපාලනයට “විකල්ප” ලෙස තම කෙස් රහිත හිස්ගෙඩි පෙන්වන නාගානන්දලා පල්ලෙවත්තලාගේ සිට “දැන් අපි පරිනතයි” යැයි කියන චම්පික රණවකලා පවා තවම කියන්නේ “මේක සිංහල බෞද්ධ රටක්” යන්නයි. මේ අප ඉදිරියේ ප්‍රාතිහාර්යය පාන මහා විකල්පෝත්තමයෝ පමණක්ය.

mangala_03
මංගල සමරවීර

එංගලන්තය අයිරිෂ් ජාතිකයාගේ වාසනාව මත දුවන කණ්ඩායමක් නොවේ. වඩා හිතට එකඟව බැලුවහොත්, අයිරිෂ් ජාතිකයාගේ වාසනාව උරුම ලංකාවටත් අපේ ප්‍රේක්ෂක පිරිසටත් ය. තරඟාවලියට ප්‍රථමයෙනුත් ඒ අතරතුරත් තම කණ්ඩායමට ගරහමින්, නින්දාසහගත පෝස්ට් හදමින්, අසාධාරණ විවේචන කරමින් සිටි ඔවුන්, ලංකා කණ්ඩායමේ ඉස්මතු වුනු අවස්ථා පවා පිවිතුරු සිතින් ඇගයීමට ලක්කලේ නැත. ඊට හේතුව, ඔවුන්ගේ අනපේක්ෂිත දක්ෂතා ඇගයීම තමා කරගෙන ආපු විවේචනය හෑල්ලුවට ලක්කරගැනීමක් නිසාය. මෙය ඉතාම අධම, පහත් හා මමත්වයෙන් ඔද්දල්වුනු මනෝභාවයක් වන නමුත් එය අපේ සමාජයේ හරස්කඩ පිලිබඳ කැඩපතද වන්නේය. ලංකාව තරඟයෙන් ඉවත්වුනු පසුව ඔවුන් ඉන්දියාවට එරෙහිව ජයඝෝෂා කොට අවසන් තරඟයේදී නවසිලන්තයට ආවැඩූහ. නවසිලන්තය එයින් පරාජයට පත්ව එංගලන්තය ඉතාම තරඟකාරී අවසන් ඕවර 25ක් ක්‍රීඩා කරමින් ලත් ජය ඔවුන් දැන් නැවත පහත හෙලමින් මෙසේ සමච්චලයට ලක්කරති. ලංකාවේ අප සැමට ඇත්තේ අයරිෂ් ජාතිකයාගේ වාසනාවයි. එය ඇත්තටම “වාසනාවකට” වඩා මන්ද මනෝභාවයක් පිලිබඳ ඉඟියකි. ඉතා පිරිහුනු, පසුගාමී පුහු තත්වයකි.

Running for Sanga (සංඝයා වෙනුවෙන් රනින් කරන ලද).

ශ්‍රී ලංකා ක්‍රිකට්වල නවතම අර්බුදය කුමාර් සංගක්කාරගේ ඉංග්‍රීසි හැසිරවීම සම්බන්ධව ප්‍රේක්ෂකාගාරයේ ඇති වී තිබෙන නොසන්සුන්තාවයයි. එය සංගක්කාරගේ ප්‍රශ්ණයකට වඩා අපේ ප්‍රශ්ණයකි. සීමිත පරිසරයක ජීවත්වන, “සිංහලයාට ඇති එකම රට මේ සිරිලක් දෙරණයි” වැනි මානසිකත්වයක් ඇති අපි ජාත්‍යන්තරවාදී තලයක හැසිරෙන, දේශ-සීමා දොරගුළු විවෘත කරගෙන ඉදිරියට ගිය ශ්‍රී ලංකිකයෙකු අරභයා කරන කුහක විවරණයකි. නමුත් ඒ දෙකම මගේ පෞද්ගලික අදහස් වන අතර ඒවා ගැන මේ සටහනේ කතා කරන්නේ නැත. මේ සටහන ඊට වඩා තරමක් වාස්තවික වීමට ප්‍රයත්නයක් දරයි.
මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සහභාගි කරවා ගන්නා විශේෂඥ විස්තර විචාරක කණ්ඩායමේ ලංකා සහභාගිත්වය තිබෙන්නේ කුමාර් සංගක්කාරටයි. පැවති නවසිලන්ත තරඟයේදීි සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ නම් උච්ඡාරනය කිරීමේදී “නුහුරක්” අඟවා එය සිදුකරා යන්න පවතින විවේචනයයි. විවේචකයන් බොහෝ දෙනා ව්‍යංගයෙන් කියා සිටියේ සංගක්කාරට අමුතු විදෙස් අං දෙකක් ජනනය වී ඇති බවයි. ලෝක මට්ටමේ නිතරම දකින තවත් ශ්‍රී ලංකික විචාරකයෙකු වන රසල් ආනල්ඩ් කිසිදු වකිතයක් නැතිව ලහිරු තිරිමාන්න වැනි නම් ලහිරු තිරිමාන්න ලෙසටම උච්ඡාරනය කරන බව ඔවුන් පවසයි. “නම ඉංග්‍රීසි උනත් රසල් සිංහල මිනිහෙකුටත් වඩා සිංහලයි” ලෙසට කෙනෙක් කමෙන්ට් එකක්ද දමා තිබෙනු දක්නට ලැබුනා.
p05hd7f1
සංගක්කාර

මේ කමෙන්ට් එක ආරම්භයක් ලෙස ගත්තොත් අපට තේරුම් යන්නේ සිංහලයෙක් සිංහල උච්ඡාරනය කල යුතු යම් “විදිහක්” ගැන අදහසක් පොදුවේ පවතින බවයි. ඒ “විදිහ” කුමක්ද? ඒකෙ උපරිම හා අවම මට්ටම් මොනවාද? ඒ “විදිහ”ට ව්‍යතිරේඛ තියෙනවාද? රසල් ආනල්ඩ් ගැන කර ඇති ඇගයුමේ තියෙන උත්ප්‍රාසයද මෙතන දී සදහන් කල යුතුයි. ආනල්ඩ් ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ සම්භවයක් තිබෙන කෙනෙක්. නම ඉංග්‍රීසි වුවත් “සිංහලයෙකුට වඩා සිංහල” කියා සහතිකයක් ලබන මේ මනුස්සයා අයත් වන්නේ “සිංහලයෙක් තරමට සිංහල” කතාකිරීමට නොහැකි වීම නිසා අතපය බිඳ දැම්මවූ, දූෂණය කෙරුනු, ගෙවල් ගිනිබත් කෙරුනු, ව්‍යාපාර ස්ථාන විනාශ කෙරුනු, අවසනදී මරා දැමුනු ජන සමූහයකට නෑදෑකම් කියන පසුබිමකටයි. නමුත් අප එය පැත්තකින් තබමු.

“සිංහලයෙකු විදිහට සිංහල කතා කිරීමේ” සංගක්කාර-විරෝධී අවඥාව ඉතාම අයුක්තිසහගත මෙන්ම අපරිනත බව මගේ අදහසයි. ඒක ලෝකය දෙසට නොඇරුනු, තමා දෙසටම හැරුනු, කුහක වුනු හා සොයා බැලීමකින් තොරව සිදුකරන (කෙටියෙන් කිවහොත්, “ඉතාමත් සිංහල”) විවේචනයක්. අපි සරළ පරීක්ෂණයකට කුමාර් සංගක්කාරව භාජනය කරමු. ඊට පෙර, සංගක්කාර යනු කවුදැයි කියා නිරීක්ෂණය කරමු.
කුමාර් සංගක්කාර ඉතාම දක්ෂ ද්වීභාෂිකයෙක්. සිංහල අවශ්‍ය තැනට සිංහලත්, ඉංග්‍රීසිය අවශ්‍ය තැනට ඉංග්‍රීසියත් ඒ දෙකම අවශ්‍ය තැනට ඒ දෙකමත් ඉතාම නම්‍යශීලීව හා සංයමයෙන් යොදාගන්නා කෙනෙක්. සංගක්කාරට හැඳි ගෑරැප්පු මෙන්ම අතින් කෑමද එක හා සමානව කල හැකියි. අපේ මෑත කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අඩුවෙන් පිහිටන විචාරශීලී බවක්, සමාජය ඉදිරියේ දී මහත්මා බවක් මෙන්ම, කිව-කිව නොයුතු, කල-කල නොයුතු දේවල් පිලිබඳ පරිනත බවක් තිබෙන කෙනෙක්. උදාරහණ ලෙස, පොහොට්ටුවේ සාමාජිකත්වයක් ලබාගන්නට සංගක්කාර ඉක්මන් වන්නේ නැත. ගඳගහන නාරාවලක් මෙන් තිබෙන ක්‍රිකට් පරිපාලනයට බහින්නට ද ඔහු ඉක්මන් වන්නේ නැත. ඔහු දෙන සම්මුඛ සාකච්ඡා ගැන සංගක්කාර දැනුවත් ය. ගොසිප් අඩවිවල ෆීචර් වන්නේ ගොසිප් එකක් ලෙස පමණක්ය. ජනප්‍රිය විඥානය සංගක්කාරගේ තරුවක් වීමේ ක්ෂේම භූමිය වුනත් ඒ ආයෝජනයෙන් එහාට ගිය පරිනතබවක් ඔහුට ඇත. කුමාර් චාපාබණ්ඩාර ඒ තමාම යැයි කෙසේ කීවත්, මඩයේ පිපුන නෙළුම කුමාර් සංගක්කාරමය.
54TLbcUcnRm3sWQK3HKkuAMedF1JSX7yKgEqYjnyTKPwrcV5PEvtTHYoYYqYYjUkErCsrNchVJ1237zWFQu2cDxBAxCkpy5YvnGt1KQwEus1HHa1nCqs2J16oNsqtKcMPpHwURzHL
සංගක්කාර පුළුල් පථයක හැසිරෙන්නෙකි
සංගක්කාර හැසිරෙන පථය ඉතා පුළුල් හා විස්තීරන එකකි. ක්‍රිකට් අංශයෙන් ඔහු විචාරයේ සිට පරිපාලනය දක්වා ඕනෑම පුටුවකට නිතරඟ සුදුස්සෙකි. ලෝකයේ ඕනෑම ක්‍රිකට් අවකාශයකට ඇතුළු වීමේ ප්‍රභවය ඇත්තෙකි. අනෙත් අතින් ඔහු සමාජ සත්කාරක ව්‍යාපෘතිවල සිට ප්‍රභූ සන්නාම ව්‍යාපාර කටයුතු දක්වා පරාසයක හැසිරෙන්නෙකි. ක්‍රිකට් ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ලෝඩ්ස් හි ප්‍රභූ මාර්ලිබන් සමාජයේ පළමු ඉංග්‍රීසි ජාතික නොවන සභාපතිවරයා ලෙස මෙම ඔක්තෝබරයේදී පත්වීම් ලබන්නට නියමිතද වන්නේ සංගක්කාරය. සංගක්කාර 2020 දී ලංකාවේ ජනාධිපතිකම ලැබුවත්, කීර්ති නාමය අතින් ඒ පදවිය එම්.සී.සී.යේ සභාපති වීම හා සංසන්දනය කරන්නට බැරි එකකි. මගේ තක්සේරුවට අනුව සංගක්කාරගේ මට්ටමේ ක්‍රිකට් තාන්ත්‍රිකයෙක් අප දන්නා කාලයේ බිහි කර නැත.
දැන් නැවත සංගක්කාරගේ භාෂාව පිලිබඳ පරීක්ෂණයකට එමු. පරීක්ෂණය සරළ එකකි. සංගක්කාර සිංහලෙන් කතා කරන විට ලහිරු තිරිමාන්න යන්න හඬ නගන්නේ කෙසේද? සිංහලෙන් කතා කරන විටත් සංගක්කාර අතින් තිරිමාන්න යන්න “නුහුරට” උච්ඡාරනය වනවාද? මගේ උපකල්පනය වන්නේ, සිංහලෙන් කතා කරන විටකදී සංගක්කාරගේ උච්ඡාරනය සිංහලයාගේ මන පිනවන පැත්තට – හෙවත් “සිංහලයෙක් සිංහල කතා කල යුතු” පැත්තට – වඩා වැඩි බරක් ඇති බවයි. මේ සංසිද්ධිය වාග් විද්‍යාව හා “Affect theory” (වඩා සුදුසු සිංහල යෙදුම දන්නේ නැත) අනුව ඉතා සරළව පැහැදිලි කල හැකි වනු ඇති අතර, ඒ සදහා අවශ්‍ය වන්නේ සාමාන්‍ය දැනුමකි.
මට හැඟෙන්නේ ඉංග්‍රීසි භාෂිත සන්දර්භයේදී විවිධ පරිසර හා තත්වාකාර කරුනු නිසා ඉංග්‍රීසියට කිට්ටු ධ්වනියක් හා සංගක්කාර තම භාෂා හැසිරවීම අනුපාත කරන බවයි. මෙය අමුතු තත්වයක් නොවේ. අපි තත්වාකාරීව අපේ භාෂාවේ රිද්මය, වචන අතර පරතරය, වචන පිටකරන වේගය, යොදාගන්නා වචන තෝරාගැනීම, හාස්‍යය යොදාගැනීම, අදිය (සවිඥානිකව හා අවිඥානිකව) සිදුකරමු. උච්ඡාරනය ද ඒ හා සමානව සිදුවෙතැයි අනුමාන කරන්නට හැකියි. යම් පරිසරයක දී තමා භාෂාව හසුරුවන ආකාරය ගැන අප තුලම නිරායාසයෙන් ඇතිවන හැඟීම් මෙන්ම පෞරුෂය හා බැඳුනු සවිඥානික හා අවිඥානික කරනු ආදියත් භාෂාව භාවිත වෙන අවසන් ප්‍රතිඵලයට හේතු සපයයි. මේ සියළු කාරණා කුමාර් සංගක්කාර හා රසල් ආනල්ඩ් යන දෙදෙනාට එක ලෙස පිහිටන්නේ නැති බව අවසානයට පැවසිය හැකියි.
dc-Cover-ukhfn6ouhh9ch347heh288dep0-20171116145905.Medi
රසල් ආනල්ඩ්

සනත් ජයසූරිය ව්‍යක්ත ඉංග්‍රීසි භාෂිතයෙකු නොවේ. “දෙයාර් ඉස් පස් කමින්ග් අවුට් ඔෆ් ද විකට්” යන්න ඔහුගේ ඉංග්‍රීසි විස්තර විචාරක දිවියේ රුවන් වැකියක් වී හමාරයි (මෙයද වාග් විද්‍යාත්මකව පැහැදිලි කල හැකි සංසිද්ධියකි). නමුත් සනත් ජයසූරියට සංගක්කාරට සිදුවන ඉහතින් සදහන් කල දේ සිදු වීමට ඇත්තේ අඩු ඉඩක් යැයි සිතමි. ඊට හේතුව, සිංහල හා ඉංග්‍රීසි ධාරා දෙක සම්බන්ධයෙන් එක හා සමාන හෝ ප්‍රාමාණික කෞශල්‍යයක් ඔහුට නොතිබීමයි. එවිට කුමන භාෂාව කතා කලත්, වඩා ප්‍රමුඛ වන්නේ තමාට ප්‍රවීණතාවයක් ඇති භාෂා පද්ධතියයි. පරිසර තත්වයන්ට හා මානසික ආතතීන්ට අනුකූලව තමා තුල ඇති භාෂා පද්ධතීන් සමඟ කේවල් කරන්නට, ඒවා එකිනෙක මත යෙදෙන ආකාරය සීරුමාරු කිරීමට තරම් ප්‍රභවයක් ඇත්තේ බහු-භාෂික යාටයි. සංගක්කාරගේ ගැටළුව ද්වී හෝ බහු භාෂික ගැටළුවක් වන අතර එය ජයසූරියවාදී ගැටළුවක් නොවේ.

ගෙදර වැඩ:
1) චන්දික හතුරුසිංහ සිංහල කතා කරන හැටි බලන්න. ඔස්ට්‍රේලියාවේ වසර ගණනක් පදිංචි ඔහු සිංහල කතා කරන්නේ ඉතා අපහසුවෙන්, තෝරා බේරා ගෙන මෙනි. නිතරම “so” යන වචනය වාක්‍ය ආරම්භයට යොදයි. ඉංග්‍රීසි හැසිරවීමේ ද ව්‍යක්ත බවක් නැත.
2) මහේල් ජයවර්ධන සිංහල හා ඉංග්‍රීසිය භාවිත කරන ආකාරය දෙවිදිහක්ද? මහේල් ඉංග්‍රීසියෙන් කතා කරත්දී (හෝ සිංහලෙන් කතා කරත්දී) සිංහල නම් උච්ඡාරනය කරන ආකාරයත් සංගක්කාර එය කරන ආකාරයේත් වෙනසක් තිබේද?
3) වසර තිහකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන රවී ෆර්නැන්ඩෝ නිරීක්ෂණය කරන්න. විදේශීය උච්ඡාරනයකින් යුතු ඉංග්‍රීසි වචන රහිත “සිංහලට වඩා සිංහල” අමු සිංහලක් ඔහු එදිනෙදා කතා බහේදී යොදාගනියි.
‍මේ සියල්ල අවසානයේදී මා මෙසේද පැවසිය යුතුයි. සංගක්කාර දක්ෂ විශ්ලේෂකයෙකු හා භාෂාව තියුණු ලෙස හසුරුවන්නෙකු වුවත් – ඔහු ආනල්ඩ්ට වඩා ව්‍යක්ත වුවත් – මා වැඩියෙන් කැමති විස්තර විචාරකයා රසල් ආනල්ඩ් බවයි. ආනල්ඩ්ගේ දඟකාරී සෙන්ස් ඔෆ් හියුමර් එක මට වඩාත් වැදගත් දෙයක්. ව්‍යක්ත බවින් අඩුවීමට වඩා හියුමර් එකෙන් සිසිලසක් වීම පෞද්ගලිකව මට වැදගත්. “සන්ස් ඔෆ් හියුමර්” යන්නට වඩාත් පරිපූර්ණ අදහස දෙන සිංහල වචනයක් නැත.

ටෝනි ග්‍රෙග් ලංකාවට සමීප වන්නේ ඇයි?

ටෝනි ‍‍ග්‍රෙග් සම්බන්ධයෙන් බොහෝ දෙනා මෙන්න මෙහෙම කියනවා: “අද කාලෙ ඇතැම් දේශප්‍රේමීන්ටත් වඩා ටෝනි ග්‍රෙග් ලංකාවට ආදරෙයි”. විස්තර විචාර කටයුතු අතරේ උද්‍යෝගිමත් ලෙස ලංකාවේ ක්‍රීඩා තරඟ ග්‍රෙග් විසින් ආවරණය කරනවා දුටු අපට, මුරලිදරන් පන්දුව දමාගසන බවට චෝදනා ලබපු අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම අගතියට පත් පාර්ශවය උනන්දුවෙන් නියෝජනය කරන ග්‍රෙග් දුටු අපට මෙසේ සිතීම අරුමයක් නෙමෙයි.

article-2220664-0040D86200000258-57_468x377.jpgඒත් එතනින් එහාට ගිහින් ග්‍රෙග් මේ ආකාරයට හැසිරුනේ ඇයි කියන එක ගැන අදහසක් ඇති කරගැනීම ග්‍රෙග් සමරණ සැමදෙනා වෙනුවෙන් කල යුතු යැයි සිතුනා. මම දකින විදිහට ලංකාව ගැන ග්‍රෙග්ගෙ තිබුනු උනන්දුව ලංකාව ලංකාව වීම නිසාම වුනු ආදරයක් නිසා සිදුවුනු දෙයක් නෙමෙයි. ඒක කරුණු කීපයක අහම්බයක්. අපේ සමාජයේ නිතරම දකින්නට තියෙන ඇතුලට හැරුනු දෘෂ්ඨිය නිසා මේක ග්‍රෙග් සහ ලංකාව අතර සරළ සම්බන්ධයක් විදිහට දකින්නට තිබුණත් වඩා පිලිගත හැකි කාරණය වෙන්නේ තරඟයක අඩු වාසිය ඇති පිලට (හෙවත් “අන්ඩර්ඩෝග්” කණ්ඩායමට) ග්‍රෙග්ගේ ලැඳියාවක් තිබුණා කියන එකයි. මේක විශේෂයෙන්ම ක්‍රිකට්වල සම්ප්‍රදායික “අයිතිකරුවන්” ලෙස සිටින සුදු ජාතික කණ්ඩායම් හා තරඟ වදින ආසියාතික රටවල් සම්බන්ධයෙන් ග්‍රෙග්ගෙන් නිතරම දකින්නට තියෙන කාරණයක්. මෙයට හොඳ උදාහරණයක් සපයනවා 2007/08 ඉන්දීය-ඔස්ට්‍රේලියා තරඟාවලිය. මෙය සෑහෙන අර්බුදකාරී ලෙස අවසන් වූවක්.විනිශ්චකාරවරුන්ගේ දුර්වලතා වගේම ක්‍රීඩකයින්ගේ හොර-මැරකම් පිලිබඳ මතභේද මතුවුනු එකක්. 2-1 වශයෙන් ඔස්ට්‍රේලියාව තරඟාවලිය ජයගත්තත් ඒ ජය අභිබවා නැගී ආවේ ඇන්ඩෲ සයිමන්ඩ්ස් සහ හර්බජාන් සිං අතර ඇතිවුනැයි කියන වර්ගවාදී වචන හුවමාරුව, රිකී පොන්ටින් හොරට රැකගත්බවට පෙනුනු උඩපන්දුව, ස්ටීව් බක්නර්ගේ මතභේදාත්මක තීරණ වගේ කරුණුයි. එක් අවස්ථාවකදී තරඟාවලිය අතරමග නතර කර නැවත ගෙදර යන තැනට ඉන්දියාව තල්ලු වී තිබුණා. මේ සියළු සිදුවීම් සම්බන්ධ විවාදයේදී — විශේෂයෙන්ම හර්බජන් සිං සිද්ධියේදී — ග්‍රෙග් නිතරම හිටියේ ඉන්දියාව පැත්තේයි. මේ අතරම 2009/10 කාලයේ බංග්ලාදේශයේ ක්‍රිකට් නැගී එන අතරවාරයේ ඒ තරඟ ආවරණය කරන ග්‍රෙග්ගෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන් ගැනත් පලවන්නේ 80 අග, 90 මුල-මැද කාලයේ ලංකාව ගැන දැක්වෙන ආකාරයේම උද්‍යෝගයක්.

‍ටෝනි ග්‍රෙග් චරිතය හැදෑරීමට වටින, සිත්ගන්නාසුළු එකක්. එක් අතකින් ග්‍රෙග් කියන්නේත් සදාතනික “අන්ඩර්ඩෝග්” කෙනෙක්. ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ග්‍රෙග් එංගලන්තෙට එන්නේ “පිටස්තරයෙක්” විදිහට. ග්‍රෙග් උපතින් දකුණු අප්‍රිකානුවෙක්. ඒත් වර්ගවාදය නිසා අන්තර්ජාතික ක්‍රීඩා පිටියෙන් කොන්කරලා තිබුණු දකුණු අප්‍රිකාවක හැදී වැඩී, ඒ හින්දාම එංගලන්තයට විත් ක්‍රීඩා කරන කෙනෙක්. එංගලන්තයේ ක්‍රීඩාකලත් ඔහු කිසිදිනක එංගලන්ත උරුවට හැඩගැහුනු ක්‍රීඩකයෙක් නෙමෙයි. ඒ “පිටස්තර” ගතිය පන්දුවට පහරදුන්නත්, පන්දු රැක්කත්, පිටිය සකස් කලත්, පිටියේ ඇවිද්දත්, පුවත්පත් සාකච්ඡාවක් කලත් එකවිදිහට දකින්නට ලැබුනා. ග්‍රෙග් එංගලන්තයට ක්‍රීඩා වරම් ලබන්නේ 1972/73 කාලයේ. ඔහු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වගේම පිතිකරු අසල පන්දු රැකීමේ දක්ෂයෙක්. වාචාල කටක් සහිත, ප්‍රතිවාදි පිතිකරුවන්ට කටපුරා ස්ලෙජ් කරන්නෙක් විදිහටත් දැවැන්ත ප්‍රතිරූපයක් තිබුනු කෙනෙක්. ග්‍රෙග්ගෙ තිබුනේ ඒ ආකාරයේ සම්ප්‍රදායික එංගලන්ත-නොවන, වඩා ඔස්ට්‍රේලියානු-බර ක්‍රීඩා විලාශයක්. 1976 බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ එංගලන්ත සංචාරය අතරතුර වර්ගවාදී විදිහට අර්ථගැන්විය හැකි යමක් මාධ්‍යයට කීම නිසා සංචාරක පිලේ මළ පන්නන්ටත් ග්‍රෙග් සමත් වෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ මළ පැන්න ආවේගයෙන් ක්‍රීඩා කරන කොදෙව්වන් අතින් ලබන 5-0ක තරඟාවලි පරාජය. තම කටවැරැද්ද පිලිගත් ආකාරයට ග්‍රෙග් පස්වන තරඟයේ දැවී ගියාට පසුව ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට කලින් බිම දණගාන ඉරියව්වක් පානවා.

erariwgliflbjybixuci1bzgx6n8ki3to4elbyq8gam‍මේ සියල්ල අතර ග්‍රෙග් කෙරී පැකර්ගේ එක්දින ක්‍රිකට් විප්ලවයටත් හවුල් වෙනවා. පැකර් ගෙන එන “වර්ල්ඩ් සීරීස් ක්‍රිකට්” තරඟාවලිය ලෝඩ්ස් / එම්.සී.සී ක්‍රිකට් සම්ප්‍රදායෙන් බැහැර කෙරුනු, ඉතා ඉහල මුදලට තරඟ කෙරුනු, පාට ඇඳුම්, සුදු පාට පන්දු මුල්මවරට ප්‍රවර්ධනය කෙරුනු තරඟාවලියක්. එංගලන්ත, පකිස්ථාන හා ඉටහිර ඉන්දීය ක්‍රීඩකයින් බා ගැනීමේ පැකර්ගේ ප්‍රධාන බ්‍රෝකර්වරුන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ග්‍රෙග්. ඒ වන විට ග්‍රෙග් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. එංගලන්ත නායකත්වය කියන රටේ ලැබිය හැකි ඉහලම ගෞරවය ඉවත දමන ග්‍රෙග් කෙරී පැකර්ගේ ව්‍යාපෘතිය හා එකතු වෙනවා. පසුව ඔස්ට්‍රේලියාවට නිත්‍ය ලෙස සංක්‍රමණය වී පැකර්ගේ චැනල් 9 සමාගමේ ඉහලම යාවජීව ස්ථානයක් ලබාගන්නවා. ඔහු ක්‍රීඩා විචාරකයෙක් ලෙස අප හඳුනාගන්නේ ඉන් පසුවයි.

ග්‍රෙග්ගේ චරිතය කෙටියෙන් ඔන්න ඔහොම එකක්. ඒක නිතරම සම්ප්‍රදාය අභිබවා යන්නට වෑයම් දරපු එකක්. සම්ප්‍රදායික මායිම්වල තරමක අපහසුවෙන් රැඳුනු එකක්. දකුණු අප්‍රිකාව වැනි බ්‍රිතාන්‍ය කොලනියකින් ආරම්භ වී, අධිරාජ්‍යයේ හදවත වෙත පැමිණ, නැවත ඔස්ට්‍රේලියාව වැනි බ්‍රිතාන්‍ය කොලනියකින් අවසන් වුනු – එවැනි කොලනියක වඩා පහසු නිවහනක් සොයාගත් – එකක්. 1987/88 ඔස්ට්‍රේලියා සංචාරයේදී ගලී සිට දක්ෂ උඩපන්දුවක් රැකගන්නා අරවින්ද ද සිල්වාට “ලිට්ල් අරවින්ද” කියන විදිහටමයි 1995/96 සංචාරයේදී ග්‍රෙග් රොමේෂ් කළුවිතාරණට “ලිට්ල් කළු” කියලා කියන්නේ. ඒ උද්‍යෝගයට එක් හේතුවක් වනවා ඇත්තේ අඩු වාසිය ඇති, දක්ෂතා සහිත, සම්ප්‍රදායට එරෙහිව තරඟ වදින කණ්ඩායමක් දැකීමෙන් ඇතිවෙන ස්වආත්මකම්පාව වෙන්නටත් පුළුවන්.